මුදුන් යටලීය

2018-05-11 11:15:00       521
feature-top
නිවසට කොඩිවිනයක්‌ නොවිය යුතු  මුදුන් යටලීය


නිවසක වහළ රැඳ වෙන්නේ මුදුන් යටලීය මතය. ඒ නිසා ගෘහ නිර්මාණ කලාව වශයෙන් හැඳින් වෙන වාස්‌තු විද්‍යාවේදී නිවසක මුදුන් යටලීය කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු වෙයි.
* දිශා දෝෂය
මුදුන් යටලීයක ප්‍රධාන දෝෂය වශයෙන් සැලකෙන්නේ දිශා දෝෂ යයි.
දිශා දෝෂය හටගන්නේ ඉඩමක පිහිටීම අනුවය. ඉතා කුඩා බිම් කැබැල්ලක නිවසක්‌ ගොඩනගන්නට සිදුව ඇති යුගයක ජීවත්වන අපට අවශ්‍ය පරිදි දිශාවක්‌ තෝරා ගන්නට ලැබෙන්නේ කලාතුරකිනි.
කෙසේ නමුත් අද අපගේ විමසුමට ලක්‌වන්නේ නිවසක මුදුන් යටලීය පිළිබඳවය.
මුදුන් යටලීය එල්ල නොකළ යුතු අශුභම දිශාව ගිණිකොන දිශාවය.
ඉඩමේ හරි මැදට නිවසේ හරි මැද හසුවුහොත් එය නිවස විනාශ කරන කොඩි විනයක්‌ බවට පත්වේ.
* නිවසේ වහල
නිවසක වහල එම නිවසේ සුවිශේෂී අංගයක්‌ වශයෙන් සලකනු ලැබේ. එසේ සලකා ඉසිවරු වහලට වෙනම න්‍යාය පද්ධතියක්‌ ප්‍රකාශ කර ඇත. එම න්‍යායන්ට අනුව නිවසක වහල ගැසුවොත් ගෘහ හිමියාට, නිවසට පමණක්‌ නොව වඩු කාර්මික ශිල්පියාට ද සෙත සැලසේ.
* මුදුන් යට ලීය
මුදුන් යට ලීය රඳවන්නේ නිවසේ ප්‍රධාන බිත්ති දෙකක්‌ මතය.

මුදුන් යට ලීය බිත්ති තුනක්‌ මත රඳවන්නේ නැත. එසේම රැඳවුවහොත් එය ගෘහ මූලිකයාට ගෘහණියට අපල විපත් ඇති කරන මහා දෝෂයක්‌ බවට පත්වේ.
මේ මුදුන් යට ලීය සමහර අවස්‌ථාවල කෙටිව ද, සමහර අවස්‌ථාවල දික්‌ව ද යෙදේ. නිවසක වහලේ මුළු බර උසුලන්නේ මුදුන් යට ලීයයි. ඒ නිසා වාස්‌තු විද්‍යාවේ දී ඉසිවරයන් විසින් මුදුන් යට ලීය කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු කරනු ලැබ ඇත.
* ඉසිවර මත
ඉසිවරයන්ගේ එම වාස්‌තු විද්‍යා න්‍යාය මතය අනුව මුදුන් යට ලීය නිවසේ වහලේ බර උසුලන්නාක්‌ මෙන්ම දෝෂ සහිත මුදුන් යට ලීයේ බර ගෙහිමියාට ගෘහණියට උසුලන්නට සිදු වේ.
එයින් අදහස්‌ කරන්නේ දෝෂ සහිත මුදුන් යට ලීය ගෙහිමියාට ගෘහණියට අශුභ බලපෑම් එල්ල කරන බවය.
* රෝගාබාධ
දෝෂ සහිත මුදුන් යටලීයට, ගෙහිමියාට, ගෘහණියට වාත අමාරු, හිසේ අමාරු, කොන්දේ අමාරු, අංශභාගය වැනි රෝග ඇති කරන්නට තරම් ශක්‌තියක්‌ තිබේ. මුදුන් යට ලීයක්‌ වෙනත් නිවසක මුදුන් යට ලීයක්‌ වෙත කෙළින්ම එල්ල වී තිබුණහොත් එම නිවෙස්‌ දෙකේම අයට අසහන, ලෙඩ දුක්‌, කරදර සහ නිවෙස්‌ දෙක අතර අමනාපකම් ඇති වේ.
* සොහොන් පරාලය
පල සතරක්‌ සහිත් නිවසක මුදුන් යට ලීයෙන් බෙදී යන යට ලී සතර වැරදි ලෙස මූට්‌ටු කිරීමෙන් සොහොන් පරාල දෝෂය ඇති වී විපත් ඇති වේ.
* මුදුන් යට ලීයේ මූට්‌ටු
මුදුන් යට ලීය තනි ලීයක්‌ වීම ඉතා ශුභය. එසේම මුදුන් යට ලීය මූට්‌ටු කරන්නේ නම් එම මූට්‌ටු සංඛ්‍යාව දෙකෙන් බෙදෙන ගණනක්‌ විය යුතුය.

* ශුභ පාද
නිවසේ දිග පළල අනුව මුදුන් යට ලීයේ මූට්‌ටු ශුභ පාද මත තැබීමෙන් ද එම මූට්‌ටු මත කුරුපා නොතැබීමෙන් ද එම මූට්‌ටු බිත්ති මුළු මත නොතැබීමෙන් ද දොර ජනේල් මතට එල්ල නොකිරීමෙන් ද මර්මස්‌ථාන මතට එල්ල නොකිරීමෙන් ද බ්‍රහ්ම පාදය මග හැරීමෙන් ද එම නිවසට සහ එහි වෙසෙන අයට ශුභසිද්ධිය ඇති වේ.
* මුදුන් යට ලීයේ කුරුපා
මුදුන් යට ලීයට තබන කුරුපා සංඛ්‍යාව දෙකෙන් බෙදෙන ගණනක්‌ විය යුතුය. එසේම එම කුරුපා සියල්ලම එක හා සමාන දිග පළලකින් යුක්‌ත විය යුතුය.
* ජනෙල් දොර උළුවහු
නිවසක මුදුන් බිත්තියේ මැදට හසු වන සේ මුදුන් යට ලීයට පහලින් දොර ජනෙල් උළුවහු නොතැබිය යුතු බවට ද ඉසිවරු නීති පනවා ඇත.
* බිත්ති යට ලීය
වහල ගැසීමේ දී බිත්තිය මතුපිට සමාන්තරව යොදන ලීය බිත්ති යට ලීය වශයෙන් සැලකේ. බිත්ති යට ලීවල ප්‍රමාණය 4″ Ü 3″ හෝ 5″ Ü 4″ වශයෙන් ගනු ලැබේ. බිත්ති යට ලීවල මූට්‌ටු දොර ජනෙල් උළුවහු හෝ බ්‍රහ්ම පාදය මතට එල්ල නොවිය යුතුය.


* මැද යටලීය
මැද යටලීය සැලකෙන්නේ “අට්‌ටාලය” වශයෙනි. මුදුන් යට ලීයේ සිට බිත්ති යට ලීය දක්‌වා එක දිගට පරාල දැමීමේ දී වහලයේ බර අනුව මැදින් යොදන ආධාරකය zඅට්‌ටාලයZ වේ. පරාල එක දිගට ගත නොහැකි අවස්‌ථාවල දී මේ මැද යට ලීය යොදනු ලැබේ. මුදුන් යට ලීය හා බිත්ති යට ලීය අතර හරි මැදින් පරාල රැඳවීම සඳහා යොදන මැද යට ලීයේ ප්‍රමාණයන් 3″ Ü 5″ හෝ 4″ Ü 8″ දක්‌වා වෙනස්‌ වේ.
* මූල පරාල
වහල ගැසීමේ දී එක්‌ පැත්තක කෙළවර අනෙක්‌ පැත්තට වෙන් කිරීම සඳහා ආධාරකය වශයෙන් මූල පරාල යොදා ගනී.
මුදුන් යට ලීයේ සිට බිත්ති යට ලීය දක්‌වා යොදන මූල පරාල වහලේ කෙළවර බිත්ති මුල්ලට සම්බන්ධ වේ.
* කානු පරාල
වහලක හැඩ වෙනස්‌ වන ස්‌ථානවල වහලයේ ජලය බැස යැම සඳහා යොදන පීල්ලට ආධාරකයක්‌ වශයෙන් කානු පරාල යොදනු ලැබේ. මේ කාණු පරාල යොදන විට ශුභ පාද ගැන තැකීමෙන් නිවෙස්‌ හිමියාට මානසික සහන ඇති වේ.
* පරාල
වහලයක මුදුන් යට ලීයේ සිට බිත්ති යට ලීවලින් පිටත දක්‌වා යොදන පරාල වහලේ සෙවිලි ද්‍රව්‍ය අනුව දිග පලල වෙනස්‌ වෙයි.
* බාල්කය (තලාඳය)
වහලක්‌ තැනීමේ දී කුරුපා රැඳවීම සඳහා බිත්ති යට ලී මට්‌ටමින් යොදන දැව ආධාරකය බාල්කය වශයෙන් සැලකේ. මේ බාල්ක අශුභ පාද මත හෝ දොර ජනෙල් උළුවහු මත රැඳවීම ඉතා අශුභය.
* වඩිම්බු ලෑල්ල
වහලේ පරාල පහත කෙළවර ජලයෙන් තෙත් වීම වළක්‌වා ගනු පිණිස පරාලවල පහත කෙළවරෙහි බිත්ති යට ලීයට සමාන්තරව සවි කරන ලෑල්ල වඩිම්බු ලෑල්ල වශයෙන් හැඳින්වේ. වඩිම්බු ලෑල්ල සවි කිරීමෙන් නිවසේ වහලට අලංකාරයක්‌ ද එකතු වේ.
* කුඩා පියසි
නිවසේ වහල අලංකාර කරනු පිණිස කුඩා පියසි පිටට පන්නා වහල ගැසීමේ දී එම කුඩා පියසි අශුභ දිශාවන්ට හසු වීම නිසා ද අශුභ පාද මත පිහිටීම නිසා ද, දොර ජනෙල් මත පිහිටීම නිසා ද පියසි ගණන ඔත්තේ සංඛ්‍යාවක්‌ වීම නිසා ද එම කුඩා පියසිවලට යටින් තනි කුරුපාවක්‌ සවි කිරීම නිසා ද ලෙඩ රෝග, දුක්‌ කරදර, මානසික අසහන ඇති වේ.
* දෙලොව සැප
ඉසිවර න්‍යායන්ට ගරු කර තනනු ලබන වහල සහිත නිවසෙහි වසන අයත් එය තැනූ වඩුවාත් දෙලොව සැප ලබන බව ඉසිවරු කියති.
* මානව සංහතිය
මානව සංහතියේ පැවැත්මට ප්‍රධාන ආධාරකය වූයේ නිවසය. ඒ නිසා නිවසක්‌ තැනීමේ දී ජ්‍යෝතිෂ විද්‍යාවේ සඳහන් වාස්‌තු විද්‍යා න්‍යාය ධර්මයන්ට ගරු කිරීමෙන් සැප ලැබෙන බව ඉසිවරු කියති.


More News »