නිවස නිවැරිදිව ආරක්‍ෂා කරගන්න වාස්‌තු රහස්‌ කිහිපයක්‌

2018-07-20 01:05:00       461
feature-top
ආරක්‍ෂාව නැති තැන බලවත් වන්නේ ආරක්‍ෂාවයි. යම් තැනක්‌ අනාරක්‍ෂිත නම් එහි පැවැත්මට තර්ජනයක්‌. මෙය ලෝකයට, රටකට, ප්‍රදේශයකට, ගමකට, නිවසකට මෙන්ම පුද්ගලයාටද එකලෙස බලපාන වැදගත් කරුණක්‌ ලෙස හැඳින්විය හැකියි. නූතන ලෝකයේ බලවත් රාජ්‍යයන් තම රටේ ආරක්‍ෂාවට විශේෂ තැනක්‌ ලබා දී ඇත්තේ එබැවිනි. ආරක්‍ෂිත ක්‍රමවේදයන්a ඉහළ නම් එම ස්‌ථානය බලවත් ස්‌ථානයක්‌ ලෙස හැඳින්විය හැකියි. අතීතයේ බලවත් රජවරුන් තමන්ගේ රාජධානියට මෙන්ම තමන්ගේ මාළිගාවට විශේෂ වශයෙන් ආරක්‍ෂිත ක්‍රමවේදයක්‌ යොදමින් ආරක්‍ෂාව සලසන ලදී. එහිදී ආරක්‍ෂිත පවුරු, දිය අගල්, සත්ව පවුරු, ශාඛ පවුරු හා සේනා පවුරු ලෙස විශේෂ ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කළ බව සඳහන් වෙනවා. මෙම ආරක්‍ෂිත ක්‍රමවේදයන් අතර වාස්‌තු ශිල්පීය ක්‍රමවේදයන්ට ඉහළ තැනක්‌ හිමිවී තිබිණි. මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කරවීමට උත්සාහ ගන්නේ ඔබගේ නිවසේ ආරක්‍ෂාව උදෙසා උපයෝගී කරගත හැකි "මහා වාස්‌තු" රහස්‌ කිහිsපයක්‌ පිළිබඳව දැනුවත් කිරීමටයි. 
 
 නිවසේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී භෞතික වශයෙන් සිදු කරනු ලබන ආරක්‍ෂික ක්‍රමවේදයන් සහ ආධ්‍යාත්මික වශයෙන් යොදා ගතහැකි ක්‍රමවේදයන් පවතින බව මතක තබා ගන්න. මෙහිදී භෞතික ක්‍රමවේදයන්ට වඩා බලවත් වන්නේ ආධ්‍යාත්මික ක්‍රමවේදයන් වේ. ඔබගේ නිවසට ආරක්‍ෂිත බැම්මක්‌ බැඳ විශාල ගේට්‌ටුවක්‌ සවිකොට මුරකරුවකු යෙදවීම භෞතික ක්‍රමවේදයන් වන අතර නිවසේ ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂිත මංජුසා තැන්පත් කිරීම ආධ්‍යාත්මික ක්‍රම ශිල්පයක්‌ ලෙස හඳුනාගත යුතුයි. මෙහි දී ඔබගේ නිවසට ආරක්‍ෂාව සලසන මහා වාස්‌තු ආධ්‍යාත්මික ක්‍රම ශිල්ප රාශියක්‌ පවතින අතර ඔබට සරලව යෙදාගත හැකි විශේෂ ක්‍රම ශිල්ප කිහිපයක්‌ පිළිබඳව කියා දෙන්නම්. 
 
 ඔබ අලුතින් නිවසක්‌ ඉදිකිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබට මුලසිටම මෙම ආරක්‍ෂිත ක්‍රමවේදයන් ඇතිකර ගැනීමට හැකියාව පවතිනවා.
 
 1. ආරක්‍ෂිත මුල්ගල තැබීම
 
 ඔබගේ නිවසට තබන මුල්ගල නියමාකාරයෙන් බලවත් කොට ආරක්‍ෂා කොට තබන්නේ නම් ඔබගේ ගෘහය ආරම්භ කරන මොහොතේම නියමාකාරයෙන් ආරක්‍ෂා කර ගැනීමේ හැකියාව ලැබේ. නූතනයේ නිවාස සඳහා මුල්ගල් කඩෙන් රැගෙන තබන බව පෙනී යනවා. එය සාර්ථක ක්‍රමයක්‌ නොවේ. ඔබගේ නිවසට තබන මුල්ගල නියම ලෙස පේ කොට නිවසේ නැකත සහ ගෘහවාසීන්ගේ නැකැත්වලට තඹපත් ලියා මුල්ගලට එකතු කළ යුතු වෙනවා. එසේම පළාතට අධිපති ගම්භාර දෙවියන්ට පුදකොට තඹපත්a ලියා මුල්ගලට එකතු කළ යුතු වෙනවා. මීට අමතරව මුල්ගලක අඩංගු විය යුතු මූලික ද්‍රව්‍ය අඩංගු කළ යුතු වෙනවා. මේ ආකාරයට නිවසට තබන මුල්ගල නියාමාකාරයෙන් සකස්‌ කොට තැබීම තුළින් නිවසට මුලික ආරක්‍ෂාවක්‌ සලසා ගත හැකියි.
 
 1. මුල්ගල තැබිය යුත්තේ ස්‌වස්‌ථිකය මතයි
 
 නියම ලෙස පේ කොට සකස්‌ කරගත් මුල්ගල ස්‌වස්‌ථිකය මත තැබීම කළ යුතු වෙනවා. මෙය 
 
 පැරැණි රජමාළිගා හා සිටු මැඳුරු සඳහා යොදාගත් මහා වාස්‌තු රහසක්‌. නිකන්ම මුල්ගල තබන්නේ නැහැ. විශ්වයේ පින පාදන විශ්ව ලාංඡනය වන දක්‍ෂිණාවෘත්තව දෝලනය වන ස්‌වස්‌ථික යන්ත්‍රය මත මුල්ගල තැබිය යුතුයි. එවිට ඔබගේ නිවසට අන වින - කොඩි වින හූනියම් කරන්න බෑ. කිසිම අමනුෂ්‍යයෙකුට නිවසට ඇතුල් වෙන්නත් බෑ. ඔබේ නිවස දෙවියන්ට පුදකොට ඇති බැවින් අමනුෂ්‍ය බැල්මට ලක්‌වන්නේ නෑ.
 
 2. නිවසේ විශ්ව ශක්‌ති කේන්ද්‍රයට නව රත්නයන් යොදන්න
 
 ඔබගේ නිවසේ විශ්ව ශක්‌ති කේන්ද්‍රය නැත්නම් බ්‍රහ්ම පාදය නිසි ලෙස හඳුනාගෙන එම ස්‌ථානයේ නවරත්නයන් සහිත ආරක්‍ෂිත තඹපත් ලියූ මංජුසාවක්‌ තැන්පත් කරන්න. මෙය ඉපැරැණි මාළිගා හා සිටු මැඳුරු සඳහා යොදාගත් රහසක්‌. එම මංජුසාව ඔබටත් සාදාගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ මුහුදුවැලි, නවරත්නයන්, සංඛයන් සහ තමන්ගේ ජන්ම නැකත, ලග්නය හා නාවාංශකය ස්‌වස්‌ථික මත ලියු තඹපතක්‌. මෙසේ සකස්‌ කරගත් මංජුසාවක්‌ නැකතට බ්‍රහ්ම පාදය යොදන පොළවේ ගෘහ හිමියා විසින් තැන්පත් කිරීමෙන් නිවසට ලැබෙන විශ්ව ශක්‌තිය තුන් ගුණයකින් බලවත් වනු ඇත. විශ්ව ශක්‌තිය බලවත්ව ලැබෙන නිවසකට ආරක්‍ෂාව නිතැතින් ලැබෙනු ඇත.
 
 3. ආරක්‍ෂිත වෘක්‍ෂයන් හඳුනාගෙන රෝපනය කරන්න.
 
 ඔබගේ නිවස ආරක්‍ෂා කරන ගස්‌වැල් හඳුනාගෙන ඒවා නිවසට බලවත්වන දිශාවල සිටුවීමෙන් නිවසේ ආරක්‍ෂාව බලවත් කළ හැක. ඒ අනුව නිවසේ ඊශාන දිශාවේ දේව රූක්‍ෂ කොහොඹ පැළයක්‌ සහ නෙල්ලි පැළයක්‌ සිටුවන්න. මේ තුළින් නිවසට දෙවියන්ගේ ශක්‌තිය සහ නිරෝගීකම බලවත්වනු ඇත. එසේම නිරිත දිශාවේ ශ්‍රියාඵල බෙලි පැළයක්‌ සමඟ දෙළුම් පැළයක්‌ හෝ කෝලිකුට්‌ටු පැළයක්‌ සිටුවන්න. ඔබගේ නිවස සශ්‍රීක වනු ඇත. එසේම ඔබගේ නිවසට ප්‍රවේශ වන ගේට්‌ටුව අසළ සුදු සඳුන් පැළයක්‌ සමඟ සමන්පිච්ච පැළයක්‌ සිටුවන්න. මේ තුළින් ඔබගේ නිවසට පැමිණෙන ඕනෑම කෙනෙකුගේ අයහපත් ෙච්තනාවන් ඉවත් කොට ඔබට අවනත කරගැනීමේ ශක්‌තිය හිමි වනු ඇත. මේ ආකාරයට ඔබගේ නිවසට ආරක්‍ෂක දැලක්‌ ලෙස නිවසේ ඊශාන, නිරිත සහ ප්‍රවේශයේ බලවත් වෘක්‍ෂයන් සිටුවා ආරක්‍ෂා කරගන්න.
 
 මංගල ද්වාරයට ශෛල යෙදීම
 
 ඉපැරැණි රජදවස සිට භාවිත කළ විශේෂිත ආරක්‍ෂිත ක්‍රමයක්‌ ලෙස ගෘහයේ ප්‍රධාන ද්වාරයට ප්‍රවේශ වන ස්‌ථානයේ ගල් පතුරක්‌ යෙදීම ඉතාමත් ආරක්‍ෂිත ක්‍රමයක්‌ ලෙස මහා වාස්‌තුවල සඳහන් වෙනවා. එහිදී ප්‍රධාන උළුවස්‌සේ භූමිය හා ගැටෙන දැව කඳන් දෙකට සම්බන්ධ වන ලෙස ගල්පතුරක්‌ තැන්පත් කිරීම කළ යුතු අතර එම ගල් පතුරේ යට පැත්තේ වාමන රූපයක්‌ කෙටීම ඉපැරැණි ක්‍රමයක්‌ වන අතර වාමන රූපය කොටා ඇති පැත්ත භූමියට යටවන සේa ගල් පතුර ප්‍රධාන උළුවහු කඳට එක්‌ කිරීම කළ යුතු වෙනවා. නූතනයේ මෙම ක්‍රමය ගෘහයේ අලංකරණ කටයුත්තක්‌ ලෙස භාවිත කළද මෙය ගෘහය ආරක්‍ෂා කරන ඉපැරැණි ක්‍රමයක්‌ ලෙස හඳුනාගත හැකියි.
 
 ආපෝ ධාතුව බලවත් කිරීම
 
 පෙර රජදවස මාළිගාවල ආරක්‍ෂාව සඳහා දිය අගල් සකස්‌ කරන ලද්දේ නියමිත දිශාව පදනම් කරගෙන වේ. සෑම තැනම ජලය රැඳවීම සුදුසු නොවන අතර ඔබගේ නිවසේ ඊසාන දිශාව, උතුරු දිශාව, නැගෙනහිර දිශාව, හා බටහිර දිශාව තුළ විල්, පොකුණු, දිය අගල් යෙදීම තුළින් නිවසට ආරක්‍ෂාව සැලසෙන බව මහා වාස්‌තු ශිල්පය තුළ සඳහන් වෙනවා. මෙහිදී ඔබ විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක්‌ තිබෙනවා. දිශාව තීරණය කිරීමේ දී ඔබගේ නිවසේ මැදට ගොස්‌ දිශාව තීරණය කරන්න. එසේම ප්‍රධාන දොරට ඉදිරියෙන් ජලය රඳවන්න එපා. ප්‍රධාන දොරට අඩි දෙකකට වඩා දුරින් විල්, පොකුණු සෑදීම කළ හැකි අතර හැකිතාක්‌ ප්‍රධාන ද්වාරය මඟ හැරවීම යහපත් වෙනවා. මීට අමතරව දිය අගල් හෝ පොකුණු සෑදීමේ දී ත්‍රිකෝණාකාර හැඩතල යොදා නොගැනීමට වගබලා ගන්න.
 
 ඔබගේ නිවසට ආරක්‍ෂාව සලසා ගැනීම සඳහා ඔබ භාවිත කරනු ලබන භෞතික ක්‍රමවලට අමතරව ආධ්‍යාත්මික ශක්‌තීන් තුළින් නිවසට ආරක්‍ෂාව සලසා ගත හැකි ඉපැරැණි මහා වාස්‌තු රහස්‌ ගණනාවක්‌ පවතින අතර ඔබට ඉතාමත් පහසුවෙන් යොදාගත හැකි ක්‍රම කිහිපයක්‌ පෙන්වා දුන්නා. නිවසට බාහිරින් පැමිණෙන උවදුරු සඳහා යොදාගත හැකි පිළියම් ලෙස මේවා යොදා ගැනීම ඉතාමත් ප්‍රතිඵල දායක වෙනවා. විශේෂයෙන්ම ඔබගේ නිවසට දේව ආරක්‍ෂාව සහ විශ්ව ශක්‌තීන්ගේ ආරක්‍ෂාව බලවත් කිරීම මෙම ක්‍රම ශිල්පවල අරමුණ වේ. විෂ්ණු දෙවියන් ලොවට දායාද කළ මහා වාස්‌තු ශිල්පයේ පිහිට පිළිසරණ ලබන ඔබ විෂ්ණු දෙවියන්ට නිතැතින් පින් අනුමෝදන් කොට විශ්ව ශක්‌තිය බලවත් කරගන්න. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »