නව වසරේ මුල්ම නිවාස නැකත

2019-01-10 10:57:00       587
feature-top
කෝණ මාසය අවසන් වනවාත් සමග නව වසරේ අති විශිෂ්ට නිවාස නැකතක් 2019 ජනවාර 18 වැනි සිකුරාදා උදා වේ. මෙදින පවතින්නේ රෙහෙණ නැකතයි. රෙහෙණ නැකත නිවාස ආරම්භයට නිර්දේශිත නැකතකි. අටවිසි යෝග චක‍්‍රය අනුව ද මෙදින මිත‍්‍ර යෝගය පවතී. පුර පක්ෂයේ 12 වැනි තිථිය ද ගෘහාරම්භක කටයුතු සඳහා සුදුසු වන අතර 12 තිථිය සිකුරාදා දිනක යෙදීමෙන් අමෘත යෝගය ද නිර්මාණය වී ඇත. මෙදින සඳු උච්ච බලයෙන් සිටීමද ඉතා යහපත්ය. තත්කාල ග‍්‍රහ බලය ද ඉතා විශිෂ්ට ලෙස පිිහිටා ඇත.
 
 මෙදින නූල් ඇදීම සඳහා පෙරවරු 8.54 ට දකුණු දිසාව බලා සුබය. නූල ඇදීමට සිටුවන මංගල කූඤ්ඤය සඳහා කොහොඹ, කෑල, සල්, කිහිරි, කරඳ, බෙලි වැනි ගසක අමු ලීයක් යොදා ගැනීම සුදුසුයි. මෙදින වාස්තු නාගයාගේ පිිහිටීම අනුව මංගල කූඤ්ඤය ඊසාන දිසාවේ සිටුවිය යුතුය.
 
 අත්තිවාරම් කැපීමට පෙරවරු 9.06 ට දකුණු දිසාව බලා සුබය. මුල්ගල තැබීමට පෙරවරු 10.38 ට දකුණු දිශාව බලා සුබය. මුල්ගල ද ඊසාන දිසාවේ තැබීම සුදුසු වන අතර එය නොපෑගෙන ලෙස බිත්තියකට තැබිය යුතුය. මුල්ගල සමග නවරත්න, පස්ලෝ, උඳු, මුං, තල, මෑ, වී, මුහුදු ගංඟා ආදී ස්ථානවලින් ලබාගත් නොපෑගුණු ගල්, ගිතෙල්, මී තෙල්, කොහොඹ තෙල්, තල තෙල්, අබ තෙල්, ඊ තණ, සපුමල් කැකුළු, සමන් කැකුළු, නෙළුම් රේණු, කස්තුරි, ගෝරෝචන, මුහුදු කවඩි ආදිය ආරක්ෂා බන්ධන යොදා අටපස සිදුරු සහිත වූ මැටි කළයක් තුළ බහා තැන්පත් කළ යුතුය.
 
 අස්විද, මා, මුල, කැති, උත‍්‍රපල්, උත‍්‍රසල, මුවසිරිස, සිත, දෙනට, අද, සා, සියාවස, අනුර, උත‍්‍රපුටුප, පුෂ නැකැත් හිමියන්ට මෙම නැකත සීහේ. ප‍්‍රාදේශීය වේලාව සංශෝධනය කරගත යුතුය.
 
 ජ්‍යොතිෂවේදී, වාස්තුවිද්‍යා උපදේශක
 කපිල ඉන්ද්‍රික ගුණදාස
 මාලිබොඩ, දැරණියගල



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »