ෆෙංෂුයි රහස්‌ ගෙදරටම

2016-04-04 10:09:00       822
feature-top
සිංහල අලුත් අවුරුද්දට සැරසෙමු

සෑම නිවසක්‌ම සිංහල හින්දු අලුත් අවුරුදු උදාව වෙනුවෙන් දැන් ලහි ලහියේ සූදානම් වන කාලයකි. එහිදී නිවෙස්‌ පිරිසිදු කිරීම ඉන් ප්‍රධාන තැනක්‌ ගනී. නිවසේ සියලුම දෙනා එකතුවී නිවස ජලයෙන් සේදීම කරන්නේ ඉතාම සතුටිනි. ඔබේ නිවස හෝ ව්‍යාපාරික ස්‌ථානය ජලයෙන් සෝදා පිරිසිඳු කරන්නේ නම් එම ජලයට ලුණු කුඩු මිශ්‍ර කර සෝදන්න. එසේත් නැතිනම් නිවස සේදීමට පෙර පොළොවට ලුණු කුඩු ඉසින්න. ලුණු වලට පිරිසිදු කිරීමේ ගුණය ඇත. එවිට එම ස්‌ථානයේ ඇති අසුබ ශක්‌තීන් ඉවත්ව යයි. නිවස සේදීමේදී ඉදිරිපස සිට නිවසේ පිටුපසට ජලය තල්ලු කර හරින්න. කිසිදු අවස්‌ථාවකදී නිවසක්‌ අතුගෑමේදී හෝ සේදීමේදී ඉදිරිපසට අතුගෑම අවම කරන්න. මන්ද එවිට නිවසේ ධනය වේගයෙන් හිස්‌ වේ. ලුණු මිශ්‍ර කර නිවස සේදූ විට නැවුම් බව වැඩිවී එම ස්‌ථානයට වාසනාව ළඟාවේ. මේ සඳහා විශේෂ දින පහතින් දී ඇත. මේ සඳහා අප්‍රේල් 06 සහ 12 ඉතාම සුබ වන අතර 08 වැනිදා සුබ නොවේ.

ෆෙංෂුයි සංකේත සෝදා පිරිසිදු කරමු

ඔබ නිවසේ හෝ ව්‍යාපාරයේ දැනට භාවිත කරන සේදීමට හැකි ෆෙංෂුයි සංකේත සියල්ලක්‌ම හොඳින් සෝදා වියළාගන්න. ඉන් පසු නැවත එම ස්‌ථානවල තබන්න. එම ෆෙංෂුයි සංකේත නැවත තැබීමේදී රාහු කාලය මඟ හරින්න. ඉන්පසු හඳුන්කූරු කිහිපයක්‌ දල්වා ඔබ නිවසේ ඇති සියලුම ෆෙංෂුයි සංකේත වලට ඔරලෝසුවේ කටු කැරකෙන අතට කරකවමින් දුම් අල්ලන්න. සංකේත වල නැවුම් ශක්‌තිය වැඩිවේ.

කුරුල්ලන්ගෙන් වාසනාව

ඔබේ නිවසේ දකුණු දිශාවේ කුරුල්ලන්ට කෑම කන්න ස්‌ථානයක්‌ සකස්‌ කරන්න. ඔබේ නිවසේ දකුණු දිශාවට වන්නට ලී වලින් හෝ ඔබට පහසු ආකාරයකින් කුරුල්ලන්ට ලේනුන්ට කෑම කන්න, වතුර බොන්න සහ නාන්න ස්‌ථානයක්‌ ඉතාම අලංකාරව සකස්‌ කරන්න. මේ සඳහා වැඩි මහන්සියක්‌ විය යුතු නැත. කුරුල්ලන් නිවසට පැමිණෙන්නේ නම් එය ඉතාම වාසනාවන්ත කාලයක්‌ වේ. සමහර නිවෙස්‌වල කුරුල්ලන් පැමිණ කූඩු සාදා ජීවත්වන අවස්‌ථා ඇත. එය ඉතාම සුබ කාරණාවකි. එනිසා නිවසට කුරුල්ලන් ගෙන්වාගැනීමටද මෙම ක්‍රමය උපක්‍රමයකි. නමුත් නිවසක්‌ තුළ කුරුල්ලන් සිර කර කූඩුවල ඇති කරන්නේ නම් එය ඉතාම අසුබය. එම නිවසට දිනෙන් දින අවාසනාව පැමිණේ. මේ සඳහා අප්‍රේල් 08 වැනිදා සුබ නොවේ.

ගනුදෙනු කරන්න රතුපාට කවරයක්‌

අලුත් අවුරුද්දට ගනුදෙනු කිරීම අති විශේෂ කාර්යයකි. මේ සඳහා රතුපාට කවර සකස්‌ කර එම කවර තුළ මුදල් දමා ගනුදෙනු කළ හැකි නම් සැමගේ ධන වාසනාව වැඩි වේ. රතු වර්ණය ධනය ආකර්ෂණය කරවයි.

පසුම්බියට ලුණු කැටයක්‌

මුදල් දමන පසුම්බිය තුළ ලුණු කුඩු ස්‌වල්පයක්‌ හෝ ලුණු කැටයක්‌ තබා ගැනීමෙන් ධනය ආකර්ෂණය කරවයි. මුහුදු ලුණු පිරිසිදු කිරීමේ ගුණයකින් යුක්‌තය. ඔබගේ මුදල් පසුම්බියෙහි අසුබ ශක්‌තීන් ඉවත් කර ධන වාසනාව ළංකර ගැනීමට මෙම ක්‍රමය සාර්ථක ප්‍රතිඵල ගෙන එන්නකි. මෙහිදී කුඩා පොලිතීන් කවරයක ලුණු කුඩු ස්‌වල්පයක්‌ හෝ කැටයක්‌ දමා පසුම්බියට දමන්න. නමුත් වඩාත්ම සාර්ථක ක්‍රමය නම් කුඩා ලුණු කැටයක්‌ ආවරණයක්‌ නොමැතිව පසුම්බියේ තැබීමයි.

සහල් වලින් වාසනාව

රතුපාට කඩදාසියක්‌ ගෙන කවරයක්‌ සාදාගන්න. ඉන්පසු එය තුළට සහල් දමා කුස්‌සියෙහි රාක්‌කයක්‌ මත තබන්න. නිවසේ ධන වාසනාව වැඩිවේ.

දොඩම් පැළයෙන් වාසනාව

ඔබේ නිවසේ ගිණිකොන දිශාව සොයාගන්න. ඉන් පසු එම දිශාවේ දෙහි හෝ දොඩම් පැළයක්‌ සිටුවන්න. නිවසේ සිටින සියලුම අයගේ ධන වාසනාව වැඩිවේ. ඉන්පසු එම පැළයට හොඳින් ජලය දමා පැළය හොඳින් රැක බලා ගත යුතුය.

උණ පැළයෙන් සෞභාග්‍යය

ඔබෙ නිවසේ ප්‍රධාන දොරින් එළිය බැලූ විට වම් පසින් උණ ශාකයක්‌ සිටුවන්න. උණ ශාකයක්‌ උසස්‌ ෆෙංෂුයි ශක්‌තීන් මුදා හරී. සකලවිධ චීන කලාවන්ගේත්, චීන සාහිත්‍යය තුළත් උණ ගසට තිබෙන්නේ ගෞරවනීය තැනකි. ෆෙංෂුයි කලාව තුළද උණ ගස සැලකෙන්නේ නිවසට කැඳවාගෙන ආ යුතුම ශාකයක්‌ ලෙසය. උණ ගස ඉතා වේගයෙන් වැවෙන සුලුය. සවි ශක්‌තිමත් සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් පිරිපුන් ගසකි. නිවසේ වම් පැත්තට වන්නට උණ ගසක්‌ වවා ගත් විට මහේශාක්‍ය මකරෙක්‌ නිවසට රැකවරණය දෙනවා වැනිය. උණ පඳුරක්‌ නිවසේ ඉදිරිපස වම් පැත්තට වන්නට වැවූ විට හිතකර වී ශක්‌තිය නිවසට ඉතා හොඳින් ඇතුළු වේ. (එහෙත් ඔබ ප්‍රධාන දොරින් එළිය බැලූ විට පෙනෙන්නේ නිරිත හෝ ඊසාන දිශාව නම් උණ පැළ තැබීමෙන් වළකින්න.)

මෙම සියලුම වැඩ කටයුතු සඳහා අප්‍රේල් මස 08 සිකුරාදා දින තෝරා නොගන්න.

අවුරුදු කාලයේ විශේෂ ගමන් බිමන් සඳහා අප්‍රේල් මස 08, 09, 10, 11, 15, 20, 22, 23, 27 දිනයන් තෝරා ගැනීම අවම කරන්න.

නිවසේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීම සඳහා අප්‍රේල් මස 08, 10, 11, 13, 15, 20, 22, 23, 25, 27 යන දිනයන් තෝරා නොගන්න.

අලුත් අවුරුද්දට පෙර නිවසේ විවිධ වූ වැඩකටයුතු සිදු කිරීමට අප්‍රේල් 06 සහ 12 දිනයන් ඉතාම සුබ වේ.

අවුරුදු කාලයේ විශේෂ ගමන් බිමන් සඳහා අප්‍රේල් මස 05, 06, 13, 14, 16, 17, 18, 25, 26, 28, 29, 30 දිනයන් තෝරා ගැනීම ඉතාම සාර්ථකය.

Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »