වැරැදි වාස්‌තු නිසා විනාශවුණු ජීවිත

2017-10-24 10:08:00       551
feature-top
අද ශ්‍රී ලංකාවේ ඉදිවන සියලුම නිවාසවල පාහේ බොහෝ වාස්‌තු වැරැදි දකින්නට ලැබේ. මෙහිදී වාස්‌තු යනු ශාස්‌ත්‍රයකි. එය නිවැරැදි නොවීමෙන් එහි ජීවත්වන පවුල් විනාශ වී ගිය අයුරු පිළිබඳ ඔබ කොතෙකුත් ලිපි වලින් දකින්නට ඇති. මේ අද ඔබට කියන්නේ කොළඹ සිට කිලෝමීටර් 30 ක්‌ පමණ ඈතින් වූ සැමියා සහ බිරිඳ වෛද්‍ය වෘත්තියේ නියෑලුණත් ඔවුනුත් රෝගීන් කළ නිවසක්‌ පිළිබඳවයි. 
 
 "දිවයින - නැකත" හා එකතු වී සිටින ඔබ, නිතරම වාස්‌තු විද්‍යා ලිපි කියවනවා ඇති. එම ලිපිවල බ්‍රහ්මපාදය පීඩා නොවන අයුරින් නිවස සකස්‌ කරගන්නට යෑයි මෙම පුවත්පතෙහි වාස්‌තු උපදේශකවරුන්ගේ උපදෙස්‌ දෙනවා ඔබ දැක ඇති. එනම් බ්‍රහ්මපාදය නොපෑගීම, බර බිත්ති වැටී තිබීම හෝ මහල් නිවාසයක්‌ නම් කණු මැදට නොවැටී තිබීම වැනි කරුණුය. නමුත් මොවුන්ගේ නිවසේ හරි මැද කාමරයක බිත්තියක්‌ වැටී තිබුණි. එහි දෝෂ ඉවත් කළ හැකි ආකාර කිහිපයකි. එනම් බිත්තිය, අත්තිවාරමද සහිතව බලවත් කිරීම, නිවසට පිටතින් අත්තිවාරම් කොටසක්‌ එකතු කිරීමෙන් (මෙය නිවැරැදි වර්ගඵල ගණනය කිරීම් අනුව සිදුවිය යුතුය) බ්‍රහ්ම පාදයේ පිහිටීම වෙනස්‌ කිරීම, නමුත් මෙම නිවසේ ඉඩමේ සීමාවටම නිවස සකස්‌ කර තිබූ බැවින් සහ වෙනත් කොටස්‌ එකතු කිරීමේ හැකියාව නොතිබූ බැවින් පිරමීඩ යෙදීමෙන් මෙහි මධ්‍ය ලක්‍ෂයේ දෝෂ ඉවත් කළේය. එවිට කිසිම කැඩීමක්‌ සිදු වන්නේ නැත. මෙමගින් දෝෂ ඉවත් වීම පමණක්‌ නොව සුභ ශක්‌තිය වර්ධනය වීමක්‌ද සිදුවේ. මධ්‍ය හානි වීමෙන් ඔබගේ ආර්ථිකයට සෘජු පහරක්‌ එල්ලවීම සහ හදවත් ආශ්‍රිත රෝග ඇතිවීම සාමාන්‍ය දෙයකි. මෙකී වෛද්‍යවරයාට වයස අවුරුදු 39 ක්‌ වූවා පමණි. බයිපාස්‌ සැත්කමක්‌ද සිදු කර ඇත්තේ නොසිතූ මොහොතකය. 
 
 තවත් දෝෂයක්‌ වූයේ ඊසාන දිශාවේ කොටසක්‌ අඩුවීමය. ඔබ දැන් හොඳින් දන්නා වාස්‌තු පුරුෂයාගේ හිස කොටස පිහිටි දිශාව සහ නිවසකට විශ්ව ශක්‌තිය පැමිණෙන දිශාව වන ඊසාන දිශාව නාන කාමර, කුස්‌සි, පඩිපෙළ, වැසිකිළි වළවල්, අපද්‍රව්‍ය සහිත වෙනත් වළවල් සහ විදුලි මීටර ඉතාම අසුභ වේ. එමගින් නිවසේ බොහෝ පැති විනාශ වී යා හැක. මෙහි වැරැන්ඩාවක්‌ තිබුණද එහි අත්තිවාරම් දමා තිබුණේ නැත. එය කඩා අත්තිවාරම් දැමීම අපහසු කාර්යයක්‌ වූ බැවින් එහිද පිරමීඩ ආධාරයෙන් ඊසාන ශක්‌තිය ලබා ගත්තේය. 
 
 නිවස නැගෙනහිර දිශාවට මුහුණ ලා තිබූ අතර ප්‍රධාන දොර තිබුණේ 8 වැනි පාදයට වන්නටය. එනම් ගිණිකොන දිශාවට බරවය. ප්‍රධාන දොර කෙළින් නිවස තුළ තවත් දොරවල් 2 ක්‌ පිහිටා තිබුණි. එනම් එක එල්ලේ උළුවහු 3 කි. මෙහිදී වෛද්‍යවරයාගේ සිතේ දොර වෙනස්‌ කිරීමේ අදහසක්‌ තිබූ බැවින් නිවස නිවැරැදි මිනුම් අනුව නිවැරැදි පාදයෙන් දොර තැබුවේය. එමගින් දෝෂ 2 ක්‌ ඉවත් විය. එකක්‌ නම් පාදය නිවැරැදි වීම සහ අනෙක එක එල්ලේ පිහිටා ඇති උළුවහු 3 හි දෝෂයද ඉවත් වීම යන කරුණු 2 ය. 
 
 ඔහුගේ බිරිඳගේ උපන්දිනය වූයේ 1981.03.22 දිනය. මෙම උපන්දිනය තුළ 4, 5, 6, 7 යන ඉලක්‌කම් පිහිටා නැත. එනම් අංක විද්‍යාව අනුව අංක 4 නොමැති නම් ධනය ලැබීමේ ගැටලු හෝ ධනය විනාශ වීමේ ගැටලු ඇයට ඇත. අංක 5 නොමැති වීමෙන් සෞඛ්‍ය ගැටලු ඇයට තිබිය හැක. මෙය එතරම් හොඳ තත්ත්වයක්‌ නොවේ. මේ සඳහා තමන්ගේ පුද්ගලික වාසනාව වර්ධනය කිරීම සඳහා පීරා පත ඇයට ලබා දුනි. එමගින් ඇයට එම ප්‍රශ්නවලට සහනයක්‌ ගෙනෙනු ඇත. 
 
 ඔබ කුලී පදනම මත නිවසක සිටියද එහි බලපෑම ඔබට එන බව බොහෝ දෙනෙකු දන්නේ නැත. අපේ ගෙයක්‌ නෙමෙයි යන අදහසින් ඔවුන් ජීවත් වීම එයට හේතුවයි. ශ්‍රි ලංකාවේ බොහෝ දෙනෙකු මිලදී ගන්නා නිවාසවල ප්‍රබල දෝෂ රැසක්‌ ඇත. ඉන් ඔබට හානි වීම පිළිබඳ දැන් අමුතුවෙන් කියන්නට දෙයක්‌ නොමැත. එනිසා ඔබ, ඔබේ ගමේ නගරයේ වාස්‌තු උපදේශක තුමන් හමුවී හෝ ඔබගේ නිවස පිළිබඳ ගැඹුරු සහ නිවැරැදි පරීක්‍ෂණයක්‌ සිදුකර ගැනීමෙන් ඔබට ඉදිරියේදී විය හැකි ගැටලු රැසකට පිළියම් යොදාගත හැකිය. එසේ නොමැතිව ඔබ විනාශ වී ගිය පසු ඔබට කරන්නට දෙයක්‌ ඉතිරි වන්නේ නැත. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »