මේසන් බාස්‌ගෙන් වාස්‌තු උපදෙස්‌ ගන්න එපා

2017-10-30 10:20:00       98
feature-top
වසර 8 ක කාලයක්‌ නිවාස 3 ක කුළී පදනම මත සිට ශීඝ්‍ර දියුණුවක්‌ ලැබූ මොහු දැනට වසරකට පමණ පෙර මාතර ප්‍රදේශයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකි. ඔහු ඉපයූ මුදලින් මාතර ප්‍රදේශයේ රමණීය පරිසරයක සිත් ඇදී යන ආකාරයේ නිවසක්‌ ඉදිවන්නේ මීට වසරකට පමණ පෙරය. ඔහුගේ ප්‍රදේශයේම සිටි වාස්‌තු විද්‍යාව අනුව නිවාස සැලසුම් කරන සැලසුම් ශිල්පියෙකු ලවා ඉඩම පරීක්‍ෂා කර නිවසේ සැලැස්‌ම ඇඳ තිබුණි. එම වාස්‌තු ශිල්පියා ඇඳ තිබූ සැලසුම 100% ක්‌ නිවැරැදිය. නමුත් නිවස සැකසීමේදී කොන්ත්‍රාත් පදනම මත පැමිණි මේසන් වරුන්ගේ විවිධ වූ මතිමතාන්තර සමඟින් නිවසේ සැලසුම වෙනස්‌ කරමින් නිවස සකසා තිබුණි. ඔවුන් පවසා තිබුණේ "ලංකාවේ අපි ගෙවල් නම් කීයක්‌ හදල තියනවද, ඒ නිසා මේ සැලැස්‌ම වැරැදියි. මේ මේ දේවල් වෙනස්‌ විය යුතුයි" කියාය. 
 
 මෙම පුවත්පත හරහාම විශාල ලිපි සංඛ්‍යාවක්‌ කියවා අත්දැකීම් ඇති ඔබ දැන් හොඳින්ම දන්නා කරුණකි නිවසක හරි මැද එනම් නිවසේ හදවත බඳු බ්‍රහ්මපාදය කිසිවිටකත් හානිවිය නොහැකි බව. නමුත් මෙම නව නිවසේ හරි මැද විශාල කොන්ක්‍රීට්‌ කණුවක්‌ සකස්‌ කර තිබුණි. නිවසේ ඉහළ මාලයේ කොන්ක්‍රීට්‌ තට්‌ටුවේ බර ඔසවා ගෙන සිටින විශාල කණුවක්‌ හරිමැදට වැටී තිබුණි. එනම් දැන් මෙම නිවසේ හදවත පසාරු කරගෙන ගොස්‌ ඇත. මෙම නිවසේ කවුරුන් ජීවත් වුවද ඔවුන්ගේ ධනය, සෞඛ්‍යය, මානසික මට්‌ටම යන සියලු පැති කඩා වැටීමට ලක්‌වීම දැන් අහන්නට දෙයක්‌ නොමැත. කණුව ඉවත්කිරීම කිසිසේත්ම කළ නොහැක්‌කකි. මෙම නිවසේ දිග, පළල වෙනස්‌ කිරීමෙන් නිවසේ බ්‍රහ්ම පාදය වෙනස්‌කිරීමේ හැකියාවක්‌ මොහුට නැත. නමුත් මෙය බරපතල දෝෂයකි. තරමක වියදමක්‌ ගියද මොහු පිරමීඩ යෙදීමට එකඟ විය. මොහුට මීට පෙර වාහන 4 ක්‌ තිබූ අයෙකි. අද තමන්ගේ භාවිතයට කුඩා වාහනයක්‌ පමණක්‌ තබා ගනිමින් ඉතාම අමාරුවෙන් ව්‍යාපාරය ඇදගෙන යන මට්‌ටමකට මොහු වැටී ඇත. එනිසා නිවසක දෝෂ පිළිබඳ ඔබ සුළුවෙන් සිතිය නොහැකිය. 
 
 දෙවැනි කාරණය වන්නේ නිවසේ මුදුන් යටලීය තැබීමේ දී සිදුකර තිබූ බරපතළ දෝෂ 2 කි. ඉන් එකක්‌ නිවසේ හරි මැදදී මුදුන් යටලීයේ මූට්‌ටුව ගසා තිබුණි. කිසිදු නිවසක නිවසේ හරි මැදදී මුදුන් යටලීය මූට්‌ටු කළ නොහැකිය. දෙවැනි වැරැද්ද වූයේ මුදුන් යටලීයේ මූට්‌ටුවේ දිශා මාරු කර තිබීමයි. බස්‌නාහිරින් මුදුන් යටලීය එලීම ආරම්භ කරයි නම් එය වැසිය යුත්තේ නැගෙනහිර දිශාවෙනි. නමුත් මෙම නිවසේ මුදුන් යටලීය එළීම ආරම්භ කර තිබුණේ නැගෙනහිර දිශාවෙන් වන අතර එය වසා තිබුණේ බස්‌නාහිර දිශාවෙනි. මෙය අනිවාර්යයෙන් වෙනස්‌විය යුතු දෝෂ දෙකකි. එනම් මෙම නිවසේ සම්පූර්ණ වහළම ගැලවිය යුතුය. නමුත් එය කිසිසේත් කළ නොහැකි කාරණයකි. එනිසා ඉතා සුළු මුදලකින් මෙම මුදුන් යටලීයේ අදාළ දෝෂය ඉවත් කිරීමට පිරමීඩ සවිකිරීම සිදු කළේය. 
 
 අනෙක්‌ කාරණය වූයේ මොහුගේ දෛව සටහන පරීක්‍ෂා කිරීමේදී ජල ධාතුවේ යම් අතිරික්‌තයක්‌ තිබුණි. එනම් සැබෑවටම මොහුට ජල ධාතුව සමඟ ගැවසීම හානිදායක වෙයි. මෙයින් මොහුගේ දෛව සටහන අනුව තම මිතුරන්ගෙන් අසල්වාසීන් ගෙන් විවිධ වූ අකටයුතුකම් රැසක්‌ පැමිණීමට ඉඩ ඇත. මොහුගේ නිවස තුළ ජල සැකසුම් 2 ක්‌ තිබුණි. ඉන් එකක්‌ තිබුණේ නිවසේ අසුබම ශක්‌තිය සැරිසරන ස්‌ථානයේය. මෙම ස්‌ථානය නිවසින් නිවසට වෙනස්‌ වේ. මෙම ස්‌ථානයේ ජලය සක්‍රීය කිරීමෙන් මෙම නිවසට තදබල ලෙස අවාසනාව පැමිණීමද සිදුවේ. නිවසක ජලය තැබීමෙන් ඔබට වාසනාව එන බව ඔබ අසා ඇත. එහි කිසිදු 
 
 වැරැද්දක්‌ නොමැත. නමුත් එය නිවසින් නිවසට සහ ඔබගේ දෛව සටහන අනුව වෙනස්‌ වන බව මතක තබා ගන්න. එනිසා මෙම නිවසේ ජල සැකසුම් ඉවත්කර පළිඟු වර්ග මගින් ධන වාසනාව සක්‍රීSය කිරීම සිදු කරන ලදී.
 
 තවත් කාරණයක්‌ වූයේ මෙම නිවසේ වර්ණයයි. මෙම නිවසේ 80% පමණම යොදා තිබුණේ නිල් වර්ණයයි. එනම් ජල ධාතුවේ වර්ණයයි. මෙම නිවසට නිල් වර්ණය කිසිසේත් යෙදිය නොහැකිය. මන්ද මෙයින්ද ඔහුගේ දෛව සටහන අනුව විශාල ලෙස විපත් පැමිණීම සිදුවේ. මොහුගේ දෛව සටහන අනුව මොහුට විශාල තත්ත්වයක්‌ බලයක්‌ ලබාගත නොහැකිව තිබුණි. නමුත් මොහුගේ නිවසට සුදු වර්ණය යෙදුවේ නම් මොහුට නොමැතිවූ තත්ත්වය සහ බලය ලබා ගැනීමේ හැකියාව ඇත. 
 
 "දිවයින - නැකත" වන අපි මෙම කරුණු මගින් ඔබට බොහෝ දෑ කියා දීමට උත්සාහ කරයි. අසනීපයකට ඔබ යා යුත්තේ වෛද්‍යවරයෙකු ළඟට මිස නර්ස්‌ කෙනෙකු හෝ ඇටෙන්ඩන්වරයකු ළඟට නොවේ. ඔබ එය එසේ සිදු කළහොත් ඔබට එය ඉතාම භයානක තත්ත්වයකි. එනිසා ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරයේ වාස්‌තු බැලීමට ඔබ තෝරාගත යුත්තේ ඔබේ ගමේ හෝ නගරයේ සිටින ඒ සම්බන්ධ පළපුරුදු දක්‍ෂ වාස්‌තු ශිල්පියෙකුය. මොහු කෙලින්ම පැවසූවේ මම නැත්තට නැතිවූයේ මෙම නිවසට පැමිණි පසුව බවයි. නිවැරැදි උපදෙස්‌ මගින් ඔබගේ දියුණුව සකසා ගැනීම ඔබගේ වගකීමකි. 
 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »