බිරිඳගේ වාසනාව ඇත්තේ නිරිත දිශාවේය

2018-02-19 10:30:00       583
feature-top
බිරිඳගේ වාසනාව කියූ සැණින් විශාල පිරිසක්‌ බොහෝම ඕනෑකමින් මෙම ලිපිය කියවන බව "නැකත" අප කාටත් විශ්වාසය. කාන්තාවක්‌ ජීවිතයේ විශාල බරක්‌ උසුලන බව කිසිවෙකුටත් අමුතුවෙන් තේරුම් කළ යුතු කරුණක්‌ නොවේ. ලොව පුරා කාන්තාවන් වෙනුවෙන් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක වුවද නිවසක්‌ තුළ උදේ සිට රෑ වන තුරු දුක්‌වි`දිනා කාන්තාවට සැබෑ ලෙසම සිතේ. සතුට, නිදහස්‌ බව තිබෙනවාද යන්න ප්‍රශ්නයකි. බොහෝ කාන්තාවන් විවිධ වූ ප්‍රශ්නවලින් පිරි සෑම විටකම යම් කුමන හෝ ප්‍රශ්නයක්‌ නිසා සිත් තැවුලින් සිටින අවස්‌ථා අපමණය. මේ බොහෝ ප්‍රශ්නවලට ඇය ජීවත්වන නිවස බලපාන බව ඔබ නොදන්නවා විය හැකිය. 
 
 ෆෙෂුයි විද්‍යාව තුළද කාන්තාවට විශේෂ තැනක්‌ හිමිවී තිබේ. නිවසේ සිදුකරන විශේෂ වූ වෙනස්‌කම් කිහිපයකින් ඇයගේ ජීවිතයට යම් සහනයක්‌ ගෙන ඒමට මෙම බලගතු වූ ෆෙෂුයි විද්‍යාව අද සමත් වී තිබේ. 
 
 ෆෙෂුයි විද්‍යාවේ කාන්තාවට හිමි දිශාව වන්නේ නිරිත දිශාවයි. එසේ නම් ඔබ කළ යුතු පළමු ක්‍රියාව වන්නේ නිවසේ මැදට ගොස්‌ කුඩා මාලිමාවක්‌ භාවිතයෙන් නිරිත දිශාව සොයා ගැනීමයි. ඉන්පසු නිවසේ දළ සැළැස්‌මක්‌ ඇඳ එය කොටු 9 කට බෙදා නිරිත කොටුව තෝරා ගන්න. 
 
 මෙහි පළමු කාරණය නම් නිරිත දිශාවට අයත් කොටුව හොඳින් පිරිසිදු කිරීමයි. මකුළුදැල්, කුණු දූවිලි වෙනත් ලට්‌ට ලොට්‌ට ඉවත් කළ යුතුමයි. මෙම ප්‍රදේශය අපිරිසිදු නම් කාන්තාවන්ට ප්‍රශ්න ගැටලු රාශියක්‌ ඇති වීමට පටන් ගනී. නිතර නිතර අසනීප තත්ත්වයන් හිතේ සතුට නොමැතිකම මින් ප්‍රධාන වේ. අසනීප තත්ත්වයන් ගත් විට ආමාශගත රෝග, කෑම අරුචිය හා ආහාර නොදිරවීම මින් ප්‍රධාන වේ. එපමණක්‌ නොව නිරිත දිශාව අපිරිසිදු නම් විවාහ වීමට සිටින දියණියන්ට ඉක්‌මනින් විවාහ වීමේ වාසනාව අඩු වී යයි. 
 
 පහතින් දී ඇති නිවස දෙස බැලූ විට එම නිවසේ නිරිත දිශාව අහිමි වී ඇත. මෙය වාස්‌තු දැනුම ඇති අය පොරෝ හැඩයේ ගෙයක්‌ ලෙසද, ෆෙෂුයි විද්‍යාවේ උපදේශකවරුන් එල් හැඩයේ ගෙයක්‌ ලෙසද හඳුන්වයි. 
 
 මෙම නිවසේ ජීවත්වන කාන්තාවන්ට අතිශය ප්‍රශ්න තිබීම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මන්ද එම නිවසේ කාන්තාවට අයත් දිශාව සම්පූර්ණයෙන්ම අහිමි වී තිබීම මීට හේතුවයි. මෙයට පැළැස්‌තර විසඳුම් නොමැත. කළ යුත්තේ අත්තිවාරම දමා බිත්ති බැඳ එම කොටස සම්පූර්ණ කර එම කොටසද නිවසේ කොටසක්‌ ලෙස එක්‌කර ගැනීමය. වාස්‌තු විද්‍යාව අනුවද මෙය බරපතළ තත්ත්වයකි. 
 
 එවිට ඔබගේ විශාල ප්‍රශ්න සමූහයක්‌ විසඳී යනු ඇත. මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණ නම් එම අලුතින් එක්‌කළ කොටසට නිවස තුළින්ම ගමන් කළ හැකි වන පරිදි සකස්‌ කළ යුතු වීමයි. පිටින් දොරක්‌ දමා එයට ඇතුළු වන්නේ නම් එය නිවසේ කොටසක්‌ ලෙස ෆෙෂුයි විෂය තුළ නොසැලකේ. නමුත් අත්තිවාරම පමණක්‌ දැමීම වාස්‌තු දෝෂයට පිළියමකි. එසේ නොහැකි නම් පිරමීඩ මගින් එහි ශක්‌තිය වර්ධනය කළ හැක. 
 
 කාන්තාවගේ වාසනාව වැඩි කිරීමට නිවසේ නිරිත දිශාවේ සිදු කරන ෆෙෂුයි ප්‍රතිකර්ම
 
 සෙරමික්‌ භාජනයකට කහ මල් දමා තබන්න. ස්‌වභාවික මල් හෝ කෘතීම මල්. ස්‌වභාවික මල් භාවිතා කරන්නේ නම් ඒවා පරවූ විගස නැවතත් අලුත් මල් දමන්න. මින් කාන්තාවගේ වාසනාව වැඩි වනවා සේම නිවසේ විවාහ වී සිටින අයගේ බැඳීම්ද වර්ධනය වී ගැටුම්ද අඩු වී යයි. 
 
 නිරිත දිශාවේ ලෝහ වර්ග තිබේ නම් හැකි පමණ ලෝහ බඩු අඩු කරන්න. මන්ද ලෝහ මගින් නිරිත දිශාවේ ශක්‌තිය හීන වී යයි. ලෝහ වැඩි වීමෙන් නිරිත දිශාව දුර්වල වේ. නිරිත දිශාවේ ලෝහ වර්ග වැඩි වීමෙන් කාන්තාව දුර්වල වේ. 
 
 දහවල් කාලයේ දී නිරිත දිශාව අඳුරු නොවිය යුතුය. එම දිශාවේ රතු බල්බයක්‌ දිනකට පැය 5 ක්‌ වත් දල්වා තැබීම මගින් එම දිශාව ශක්‌තිමත් වී කාන්තාවගේ වාසනාව ඉහළ යයි. 
 
 විවාහ වාසනාව වැඩි කිරීමට සහ විවාහ වී සිටින අයගේ බැඳීම් වැඩි කිරීමට ආදරයෙන් බැඳී සිටින යුවළකගේ පින්තූර හෝ පිළිම (මැන්ඩරීන් තාරා ජෝඩුවක්‌) නිරිත දිශාවේ සවි කරන්න. මෘදු පළිඟු බෝල 6 ක්‌ නිවසේ නිරිත දිශාවේ තැබීම මගින් කාන්තාවගේ ආදර හා විවාහ වාසනාව ප්‍රබල ලෙස ඉහළ යයි. 
 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »