අලුත් නිවාසවල වාස්‌තු දොෂ රැසක්‌

2018-03-19 11:31:00       622
feature-top
ශ්‍රී ලංකාව පුරා ඉදිවන බොහෝමයක්‌ නිවාස වල ප්‍රබල ආකාරයේ වාස්‌තු වැරදි දැකගන්නට හැක. එම නිවාසවල වාසය කරන්නන්ගේ ජීවිතවලට අද අත්වී ඇති ඉරණම දෙස බැලූ විට එය මනාව පැහැදිලි වේ. ඔවුන්ගේ ආර්ථිකය, සෞඛ්‍ය, පවුල් පරිසරය සහ දරුවන්ගේ අධ්‍යාපනය වැනි පැති විශාල ප්‍රමාණයක්‌ කඩාවැටී ඇත. සාමාන්‍යයෙන් කිසිවකු නොකරන වැරදි විශාල ප්‍රමාණයක්‌ එම නිවාස වල ඇත. එනම් සමහර නිවාස වල වැසිකිළි වල පවා නිවස තුළ පිහිටන අවස්‌ථා ඇත. එවැනි දෝෂ වලින් ඔවුන්ගේ ජීවිත ප්‍රබල ලෙස විනාශ වී යාම හරිම සරලය. 
 
 'වාස්‌තු විද්‍යානුකූලව නිවාස සැලසුම්' යනුවෙන් රටපුරා විවිධ ස්‌ථානවල දැන්වීම් පුවරු සවිකර ඇති අවස්‌ථා ඔබ දැක ඇත. ඔවුන් විසින් විවිධ වූ සැලසුම් අනුව ඇඳ ඇති නිවාස හා ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක්‌ පසු කලෙකදී වෙනත් වාස්‌තු උපදේශකවරයකු විසින් පරීක්‍ෂා කරන විට එම නිවස දෝෂ සහගත බව අසන්නට ලැබීම මහත් කනගාටුවට කරුණකි. එය එසේ වන්නේ ඇයි දැයි ඔබ නොදන්නවා විය හැකියි. නිවාස සැලසුම් ශිල්පීන් ලෙස ඔවුන් මනා අධ්‍යාපනයක්‌ හෝ දැනුමක්‌ ලබා තිබෙන්නට හෝ ඒ සම්බන්ධ සුදුසුකම් සපුරා තිබෙන්නට පුළුවන. නමුත් ඔවුන් වාස්‌තු විද්‍යාව කියන විෂයය නියමාකාරයෙන් අධ්‍යයනය කර ඇත්ද යන්න ප්‍රශ්නය මතුවන්නේ ඔවුන් විසින් නිර්මාණය කර ඇති නිවාස දෙස බැලූ විටය. මේ වන විට මා ශ්‍රී ලංකාව තුළ පරීක්‍ෂා කර ඇති නිවාස ගණන දහසකට අධිකය. ඒවායින් 90% කටත් වඩා වැඩි ප්‍රමාණයක්‌ වාස්‌තු සැලසුම් අනුව යෑයි ඇඳ ඇති ඒවාය. නමුත් නිවාස සාදා පදිංචියට පැමිණි දා ඉඳන්ම ඔවුන්ගේ ජීවිතවල ප්‍රශ්න කෙළවරක්‌ නොමැත. සමහර නිවෙස්‌වල බරපතළ ලෙස වාස්‌තු ශිල්පය වැරදි ආකාර දකින්නට ලැබී ඇත. ශ්‍රී ලංකාවේ ඉතාම ප්‍රසිද්ධව අලෙවි වන නිවාස (ස්‌කීම් වල ඇති නිවාස) ප්‍රබල ලෙස වාස්‌තු වැරදි ආකාරයෙන් සකස්‌කොට ඇත. ඔවුන්ගේ ජීවිත විශාල වශයෙන් කඩාවැටී ඇත. එනිසා ඔබ නැවතත් මෙම මුලාවට නොරැවටිය යුතුය. 
 
 මා මෑතකදී මාලඹේ ප්‍රදේශයේ ඉදිවන නව නිවසක සැළසුමක්‌ පරීක්‍ෂා කරන්නට ගිය විට ඉතා අලංකාර වූ සැළැස්‌මක්‌ දැකගන්නට හැකිවිය. නමුත් එය පරීක්‍ෂා කිරීමේදී මා හට පෙනීගියේ සැළසුම් ශිල්පියා වාස්‌තු ශාස්‌ත්‍රයේ මූලික කරුණුවත් දන්නේ නැති බවයි. ඉඩමේ මුහුණ බස්‌නාහිර දිශාවට පිහාටා තිබුණි. නමුත් බස්‌නාහිරට මුහුණ ලා ඇති නිවාස අසුභ යෑයි පවසමින් එම නිවස දකුණු දිශාවට හරවා ඉදිවන ලෙස සැළසුම ඇඳ තිබුණි. වාස්‌තු ශාස්‌ත්‍රයේ හෝ වෙනත් වාස්‌තු ග්‍රන්ථයක හෝ බස්‌නාහිරට මුහුණ ලා ඇති නිවාස අසුභ යෑයි සඳහනක්‌ නැත. එය ශ්‍රී ලංකාවේ ඉන්නා අපි විසින් වාචිකව ගොඩනැගූ සංකල්පයක්‌ පමණි. පසුව ඉඩමේ හිමිකරුට එහි සැළසුම වෙනස්‌ විය යුතු ආකාරය මානාව පැහැදිලි කොට දුනිමි. එහිදී නිවසේ ප්‍රධාන ද්වාරයන් පැමිණිය යුතු ස්‌ථාන, වැසිකිළිය සහ වැසිකිළි වළ පැමිණිය යුතු ස්‌ථාන, මුළුතැන්ගෙය, පඩිපෙළ කාමර වල වර්ගඵලය වැනි බොහෝ දෑ ඇතුළත් වේ. කොටින්ම නිවසේ වර්ණය කාමර වල වර්ණය පවා නිවැසියන්ගේ දෛව සටහන් පරීක්‍ෂාවකින් තෝරාගත යුත්තකි. 
 
 නමුත් ඔබ මිලදී ගත් නිවසෙහි ප්‍රබල ආකාරයේ කුමන දෝෂයක්‌ තිබුණ ද, ඔබට එම නිවස කඩා වෙනස්‌ කර නිවසත් මුදලුත් විනාශ කර ගැනීමට අවශ්‍ය නැත. අද ලොව පිළිගත් ඊජිප්තු පිරමීඩ තාක්‍ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය වන පිරමීඩ වාස්‌තු සංකල්පය මගින් ඕනෑම ආකාරයක වාස්‌තු දෝෂයක්‌ මග හැරවීමට ඔබට හැකියාව ඇත. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »