ලොකු නිවාසවල අනාථ වුණු ජීවිත

2018-05-01 12:13:00       580
feature-top
රොෂාන් ව්‍යාපාරිකයෙක්‌. ඔහු විවාහ වී කොළඹ නගරයට පැමිණෙන්නේ බිරිඳගේ සහ ඇයගේ දෙමව්පියන්ගේ දැඩි ඉල්ලීමටය. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක බාලයා වූ රොෂාන් විවාහ වූ බිරිඳගේ පවුලේ දරුවකුට සිටියේ ඇය පමණි. ඔවුන් වසරක්‌ පමණ මෙහි ජීවත් වී රොෂාන්ගේ ව්‍යාපාරික කටයුතුවලට ප්‍රයෝජනයට ගැනීමට නිවසට සම්බන්ධ වූ තවත් කොටසක්‌ මගින් ගබඩා කාමරයක්‌ සහ කාර්යාලීය කාමරයක්‌ සැකසුවේය. 
 
 මෙසේ කාලයක්‌ ගතවන විට රොෂාන්ට විවිධ වූ ප්‍රශ්න ගැටළු රාශියක්‌ එක පිට එක පැමිණෙන්නට විය. ඉතා හොඳින් සමගියෙන් ජීවත්වූ ඔවුන් දෙදෙනා අතරද නිතර විවිධ දේ වෙනුවෙන් කතා බස්‌ ඇතිවී යම් මට්‌ටමකට දුර දිග යන බවක්‌ තිබුණි. නිවසට පැමිණෙන ඔවුන්ගේ නෑයන් හිතවතුන් මෙම නිවසේ දෝෂ ඇතැයි නිතරම කියන්නට විය. නමුත් නිවස තිබූ පරණ හැඩය වෙනස්‌ වීමෙන් පසු මේ සියල්ල සිදුවූ බව ඔවුන්ද හොඳින්ම දනී. කිහිප දෙනෙක්‌ මෙම නිවසට පැමිණ විවිධ වූ ප්‍රතිසංස්‌කරණයන් කිරීමට උපදෙස්‌ දී තිබුණි. ඒ අනුව ප්‍රධාන දොර මාරු කර තිබුණි. නිවසේ මැද බිත්තියට බ්‍රහ්ම පාදය වැටීම නිසා බිත්තිය කඩා ඉවත් කොට තිබුණි. 
 
 මා ඔහුගේ නිවසට ගිය විට තිබූ ප්‍රශ්න ඔබට එකින් එක පැහැදිලි කර දෙන්නම්. ඒ ඔබ දිනක නිවසක්‌ සකස්‌ කරන විට එහි ඇතිවිය හැකි දෝෂ අවම කරගැනීමේ අරමුණු ඇතිවය. නිවසේ අලුත් වූ කොටස පරණ අත්තිවාරමට සම්බන්ධ කර සකස්‌ කර තිබූ නිසා නිවසේ වර්ගඵලය වැඩිවී තිබුණි. මින් නිවසේ පළලට සාපේක්‍ෂව දිග දෙගුණයකට අඩියක්‌ පමණක්‌ අඩුය. මෙය වාස්‌තු විද්‍යාව අනුව ඉතාම වැරැදි සංකල්පයකි. කිසිදු හේතුවක්‌ මත නිවසක පළලට සාපේක්‍ෂව දිග දෙගුණයකට ආසන්න වීම, දෙගුණයක්‌ වීම හෝ දෙගුණයකට වඩා වැඩිවීම කොහෙත්ම සිදුවිය නොහැකිය. මෙම කරුණ බොහෝ විට දැකිය හැක්‌කේ නිවාසවලටත් වඩා ව්‍යාපාරික ස්‌ථානවලය. මා පරීක්‍ෂා කෙරූ බොහෝ ව්‍යාපාරික ස්‌ථාන පළලට සාපේක්‍ෂව දිග අනවශ්‍ය තරම් වැඩිවී ඇත. කොටින්ම කියනවා නම් දිග, පළල මෙන් එකහමාරකට වඩා වැඩිවීම බරපතළ වාස්‌තු දෝෂයකි. 
 
 මෙහිදී නිවසක නිදහසේ සිටින වාස්‌තු පුරුෂයාගේ ශක්‌තිය මිරිකෙන්නට පටන් ගනී. ඔහුගේ ශක්‌තිය දැඩි පීඩාවකට පත් වේ. ඉන් තමන්ගේ ආර්ථිකයට විවිධ වූ ප්‍රශ්න පැමිණේ. නිවස තුළ සිටින අය නිතරම යම් යම් ප්‍රශ්නවලින් පෙළෙන්නට වේ. එනිසා ඔබ නිවසක්‌ සකස්‌ කිරීමේදී මෙම කරුණ පිළිබඳ දැඩි සැළකිල්ලක්‌ දැක්‌විය යුතුය. 
 
 දැනට එම දෝෂය ඇත්නම් පිළියම් දෙකකි. එනම් නැවතත් නිවැරදි ලෙස ගණනය කිරීම් කර අත්තිවාරම වෙනස්‌ කිරීමෙන් මෙම දෝෂය ඉවත් කළ යුතුය. නිවසේ පිහිටීම හා ඉඩම අනුව එය සිදු කිරීම තීරණය වේ. එසේ නොමැති නම් කිසිදු කැඩීමක්‌ බි`දීමක්‌ නොමැතිව පිරමීඩ වාස්‌තු ආධාරයෙන් නිවසේ දිග වැඩි වන පරිදි විහිදී ඇති ශක්‌තිය කුඩා මල්ටියර් පිරමීඩ මගින් දෙකට වෙන් කර නිවසේ වර්ගඵලය අනුව ශක්‌තියෙන් වැඩි පිරමීඩ දෙකක්‌ ආධාරයෙන් බ්‍රහ්ම පාද දෙකක්‌ සක්‍රීය කිරීම සිදු කළ හැක. මින් නිවසේ ඇති දිග වැඩි දෝෂය මුළුමණින්ම ඉවත් වේ. 
 
 තවද නිවසක ජලය තැබීමේදී ඔබ විශාල සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය. මන්ද ඒ සඳහා සුදුසු දිශාවන් තෝරාගත යුතුය. අපට සිතෙන සිතෙන තැන්වල ජල සැකසුම් තැබිය නොහැකිය. උදාහරණයක්‌ ලෙස මාළු ටැංකි, කෘතීම දිය උල්පත්, පොකුණු වැනි දෑය. මොවුන්ගේ නිවසේ අට දිශාවේ විහිදෙන ශක්‌තිය ගණනය කළ විට වයඹ දිශාවේ කේන්ති යැම්, රණ්‌ඩු සරුවල් වීමේ අවදානම වැඩිය. කෙසේ වෙතත් එම කොටසේ ඉන්නා අයට කේන්ති යැම් වැඩි විය හැක. මන්ද එහි සිටින පුද්ගලයා එම ශක්‌තිය සමග සක්‍රීය වන බැවිනි. නමුත් එම කොටස ඔවුන්ගේ සාලයේ කොටසක වැටී තිබූ බැවින් කිසිදු පුද්ගලයෙකු එහි එක දිගට සිටියේ නැත. නමුත් නිවසේ තිබූ විශාල මාළු ටැංකිය තබා තිබුණේ වයඹ කොටසේය. මෙමගින් එම ප්‍රදේශයෙහි වූ ඉහත කී අහිතකර ශක්‌තිය සක්‍රීය වීමට පටන් ගනී. එනිසා එම නිවසේ සිටින බොහෝ දෙනෙකුට නිතර නිතර කේන්ති යැම් රණ්‌ඩු සරුවල් විය හැක. එනිසා ඔබගේ නිවස තුළ යම්කිසි අයුරකින් ජල සැකසුමක්‌ සකස්‌ කරන්නේ නම් එය තැබූ දින සිට දින 90 ක්‌ ගතවන කාලය තුළ සිදුවන දෑ නිරීක්‍ෂණය කරන්න. නිවසේ විවිධ වූ ප්‍රශ්න ඇතිවේ නම්, එනම් ධන හානි, අසනීප, රණ්‌ඩු හෝ වෙනත් කරදර වහාම එම ජල සැකසුම ඉවත් කළ යුතුය. මෙම වසරට අදාළව ජල සැකසුමක්‌ ඔබ තබන්නේ නම් නිවසේ ගිණිකොන හෝ උතුරු දිශා තෝරාගත හැක. අනෙකුත් දිශාවල මෙම වසරට අදාළව ජලය තැබීම එතරම් යහපත් නොවේ. නමුත් ඔබගේ නිවසේ ශක්‌තියත් මේ සඳහා ගණනය කළ යුතුය. 
 
 තවද නිවසක ජලය තැබීමේදී නිවසේ ප්‍රධානීන්ගේ ෆෙda පිලර්ස්‌ බාසි සටහන පරීක්‍ෂා කළ යුතුය. රොෂාන්ගේ බිරිඳගේ ජල ධාතුවේ යම් අතිරික්‌තයක්‌ තිබුණි. එනිසා ඉන් දැනටමත් ඇයට විවිධ වූ අවාසි සහගත දෑ සිදුවේ. ඊට අමතරව මෙම නිවසේ ජල සැකසුම් සකස්‌ කිරීම තුළින් ඇයට එසේ සිදුවන ප්‍රශ්න වැඩි වන්නට පටන් ගනී. එනිසා නිවසක ජලය තබනවා නම් ඒ පිළිබඳ ඔබ විශාල වශයෙන් දැනුවත් විය යුතුය. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »