0 Views  
   Great Persons
මාර්කෝ පෝලෝ ගේ දේශාටන වාර්තාව

ඉතා අහඹු සිදුවීමක් නිසා මාර්කෝට සිය රට බලා යෑමේ අවස්ථාව උදා වුණා. ඒ අහඹු සිදුවීම මෙසේයි.පර්සියාවේ අර්සූන් ඛාන් රජතුමා ගේ බිසව මියගිය බවත්, ඒ නිසා එතුමාගේ මෙහෙසිය වශයෙන් චීන කුමාරිකාවක ලබා දෙන ලෙසත් ඉල්ලා අර්සූන් ඛාන් රජතුමා විසින් චීන රාජ මාළිගයට දූතයන් පිරිසක් එවනු ලැබුවා. පර්සියාවට ගොස් එම දූත මෙහෙවර ඉටුකරන්නට සිදු වූයේ පෝලෝවරුන්ටයි. ඔවුන්ගේ අභිප‍්‍රාය වී තිබුණේ දූත මෙහෙවර නිමැවීමෙන් අනතුරුව වැනීසිය බලා පිටත් වෙන්නටයි. කුබ්ලායි ඛාන් රජතුමා මේ කිසිවක් දැන සිටියේ නැහැ. ඔහු යාත‍්‍රා ගමනට අවශ්‍ය නෞකා සහ නාවික පිරිස් ද පෝලෝවරුන්ට ලබා දුන්නා.පර්සියාව බලා ගමන් කළ මේ යාත‍්‍රා ගමන තරමක් දුෂ්කර එකක් වුණා. තුන් මසක් පුරා යාත‍්‍රා කර ජාවා දූපතට පැමිණෙන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. අනතුරුව ඔවුන් සුමාත‍්‍රාවට සේන්දු වුණා. මොසම් සුළංවාරය ගෙවෙන තුරු මාස 5 ක් පමණ එහි ගත කරන්නට ඔවුන්ට සිද්ධ වුණා. මෙහි විසූ ම්ලේච්ඡයන් පිළිබඳවත්, මිනිස් හිස් කබලක් තරම් විශාල ගෙඩි වර්ගයක් පිළිබඳවත් මාර්කෝ විස්තර කර තිබෙනවා. මෙම මිනිස් හිස් තරම් වූ ගෙඩි අන් කිසිවක් නොව අපට හොඳට හුරු පුරුදු පොල් ගෙඩියි. පොල් ගෙඩි පිළිබඳව මුල් වරට මාර්කෝ යුරෝපයට දැනුම් දුන්නේ මේ අයුරිනි.මාර්කෝ පෝලෝ අපේ රට පිළිබඳව ද අගනා විස්තරයක් කර තිබෙනවා. ලංකා වෙරළ තීරයට නුදුරුව මුතුපර කැඩීම පිළිබඳ තොරතුරු ද ඔහු වාර්තා කර තිබෙනවා. මුතු කිමිදෙන්නන් මෝරුන්ගෙන් බේරාගන්නට මන්ත‍්‍රධාරී බමුණු පිරිසක් ද සිටි බවයි ඔහුගේ වාර්තාවල සඳහන් වෙන්නේ.

බුදුදහම ලොවට හඳුන්වා දුන් බුදුන් වහන්සේ ගේ ශී‍්‍රපාද ලාංඡනය මේ අසිරිමත් දූපත මධ්‍යයේ වූ උසම කන්ද මත පිහිටා ඇති බවද ඔහු විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. එමෙන්ම ලංකාවාසීන් සාමකාමී චාම් වර්ගයක් බව ද, ඉණ පැළඳි රෙදි කැබලි ඔවුන්ගේ එකම ඇඳුම වුණු බවද මාර්කෝ ගේ දේශාටන වාර්තාවේ සටහන් කර තිබෙනවා.මාස 18 ක් පුරා ඉන්දියානු සයුර තරණය කළ මොවුන් පර්සියාවට ගොඩ බසිද්දී ඔවුන්ගේ නාවිකයන් 600 ක් ද, අධිරාජයාගේ තානාපතීන් තිදෙනාගෙන් දෙදෙනෙක් ද මිය ගොස් සිටියා.පර්සියාවේ දූත මෙහෙවර අවසන් කළ මොවුන් ආපසු වැනීසිය බලා යාත‍්‍රා කිරිම ආරම්භ කළා. කි‍්‍ර. වර්ෂ 1295 දී එනම් පොලෝවරුන් වැනීසියෙන් පිටත්ව ගොස් වසර 25 කට පමණ පසුව ඔවුන් නැවතත් වැනීසියට පැමිණියා. තමන් උපයාගත් මහා ධන සම්භාරයෙන් තමන්ගේ ඉදිරි ජීවිතය සැපසේ ගත කරන්නටයි මොවුන්ගේ අරමුණ වී තිබුණේ.පෝලෝවරුන් වැනීසියට පැමිණි කාලයේදී එරට යුද්ධයකට මැදිවෙලයි තිබුණේ. වැනීසිය සහ ජීනෝවාව අතර තිබුණු වෙළෙඳ තරගයයි මෙසෙ යුද්ධයකට පෙරැළී තිබුණේ. ජීනෝවා හමුදාව, වැනීසි පාලනය යටතේ වූ කොන්ස්තන්තිනෝපෝලය යටත් කර ගන්නට මහා සටනක් දියත් කර තිබුණා. සතුරු හමුදාවට මුහුණ දෙන්නට වැනීසිය ද කඳවුරු බැඳ ගත්තා. තමන්ගේ රට වෙනුවෙන් සතුරන් හා සටන් වදින්නට මාර්කෝ පෝලෝ ද ඒ පිරිසට එකතු වුණා.මේ බිහිසුණු සටනින් වැනීසිය පරාජයට පත් වුණා. වැනීසි හමුදාව ජීනෝවා හමුදාවගේ අත්අඩංගුවට පත් වුණා. මෙසේ අත්අඩංගුවට පත් පිරිස අතර මාර්කෝ පෝලෝ ද සිටියා. වසරකටත් වඩා කාලයක් සිරගත වී සිටින්නට ඔහුට සිද්ධ වුණා. සිරකූඩුවේ සිටි මාර්කො තම දීර්ඝ චාරිකාවේදී සියැසින් දුටු සිද්ධි හා තොරතුරු අනිත් සිරකරුවන්ට පවසමින් කාලය ගත කළා. සිරකරුවන් ද මේ කතා අසන්නට දැඩි කැමැත්තක් දැක්වූවා. පෝලෝ ගේ මේ විස්තරය කොයිතරම් ආශ්චර්ය වුවා ද ක ියතොත් ජීනෝවා නුවර වංශවත් වැසියන් පවා සිරමැදිරියට විත් මේ කතාන්දරයට ආශාවෙන් සවන් දුන්නා.

මාර්කෝ ගේ සිර කූඩුවේ රස්ටිෂියානේ නම් සිරකරුවෙක් ද සිටියා. සිරකරුවකු වීමට පෙර ඔහු ලේඛකයකු ලෙස කටයුතු කළ කෙනෙක්. මොහු ද මාර්කෝ ගේ කතා රසවින්දා මාර්කෝ ගේ දේශාටන විස්තරය ඇතුළත් පොතක් සම්පාදනය කරන්නට අවසර දෙන මෙන් රස්ටිෂියානේ මාර්කෝ ගෙන් ඉල්ලා සිටියා. පෝලෝ ද ඊට අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව මාර්කෝ පෝලෝ ගේ දේශාටන තොරතුරු පවසද්දී රස්ටිෂියානේ එය ලියා ගත්තා. මේ පොත ‘මාර්කෝ පෝලෝ ගේ දේශාටනය’ යන නමින් ප‍්‍රකාශයට පත් වුණා. මෙම වාර්තා පොත ජනතාව අතර ශීඝ‍්‍රයෙන් ජනපි‍්‍රයත්වයට පත් වුණා. එය වසර කිහිපයක් තුළ දී විවිධ භාෂාවලට ද පරිවර්තනය වුණා. මාර්කෝ ගෙන් පසුව දේශාටනයේ යෙදුණු බොහෝ දෙනෙකුට මේ ග‍්‍රන්ථය අගනා මාර්ගෝපදේශකත්වයක් සැළසුවා.කොළම්බස්ට කැතේ නගරය පිළිබඳව සිහින දකින්නට සැලැස්වූයේ මාර්කෝයි. වෙන් කළ පතුල් කුටි සහිත ශක්තිමත් නැව් නිර්මාණය කරන්නට යුරෝපීයයන්ව දැනුවත් කළේ ඔහුයි.චීනයේ මුද්‍රණ ශිල්පය පිළිබඳව දැනුවත් කර ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත‍්‍රයට මූූලික අඩිතාලම දැම්මේ ද මාර්කෝ යි. එමෙන්ම මුද්‍රිත මුදල් නෝට්ටු භාවිතය පිළිබඳව ප‍්‍රථම වරට යුරෝපීයයන්ව දැනුවත් කළේ ද මොහුයි.17 වැනි වියේ සිට 41 වැනි විය දක්වා සමස්ත ආසියාව පුරාම විවිධ රටවල සැරිසරා එම රටවල සමාජ සංස්කෘතික ජන ජීවිතය පිළිබඳව විස්තරාත්මකව වාර්තා කළ ප‍්‍රථම යුරෝපීයයා වන්නේ ද මාර්කෝ පෝලෝ යි.දේශාටන ඉතිහාසයේ විශේෂ චරිතයක්වන මාර්කෝ පෝලෝ ජීනෝවාහි වසරකට ආසන්න කාලයක් සිරගතව සිට නිදහස ලබාගත්තා. මාර්කෝ තමන්ගේ ජීවිතයේ අග භාගය වැනීසියේ ගත කළ බවයි වාර්තා වෙන්නේ.


o