විනිවිද පෙනෙන සෝලාර් පැනල් නොහොත් සෝලාර් ජනෙල්

2017-11-23 09:51:00       102
feature-top
වර්තමාන ලෝකයේ ජීවත් වන අප, ක්‍රම ක්‍රමයෙන් බල ශක්ති ප්‍රභවයක් ලෙස ගල් අඟුරු සහ ගෑස් වැනි පොසිල ඉන්ධන භාවිතයෙන් දිනෙන් දින අෑත් වෙමින් සිටින බැවින්, වඩාත් කාර්යක්ෂම සහ ලාභදායී සෝලාර් පැනල් දැන් වේගයෙන් ප්‍රචලිත වෙමින් තිබෙන අතරම, ලොව පුරා සෝලාර් ෆාම් (දැවැන්ත සෝලාර් පැනල් යායන්) ගොඩනැඟෙමින් පවතිනවා.

අපට වැඩියෙන්ම බලශක්තිය අවශ්‍ය වන්නේ නගරවලට නමුදු නගරවලට සූර්ය බලශක්තිය ලබාදීමට බාධාවක් වන ප්‍රධානම සාධකය වන්නේ නගරයේ ගොඩනැඟිලිවල අධික උසයි, එම නිසා හිරු එළියෙන් වැඩි ප්‍රමාණයක් සෝලාර් පැනල් සවි කර ඇති ගොඩනැඟිලිවල ශීර්ෂයට වඩා ගොඩනැඟිල්ලේ පැතිවල ඇති ජනෙල් මත පතිත වෙන සම්භාවිතාව වැඩි වෙනවා.

එයට පිළියමක් ලෙස ජනෙල් වෙනුවට සෝලාර් පැනල් සවිකළහොත්, අපට සිදුවන්නේ ජනෙල් නොමැති ගොඩනැඟිලිවල කල් ගෙවීමටයි. එම ප්‍රායෝගික ගැටලුවට විසඳුමක් ලෙස පර්යේෂකයන් කණ්ඩායමක් ජනෙල් ලෙස භාවිත කළ හැකි විනිවිද පෙනෙන සෝලාර් පැනල් නිමැවීමට සමත් වී තිබෙනවා. සෝලාර් පැනල්වල කාර්ය භාර්ය වන්නේ හිරු ආලෝකය උරා ගැනීම වන අතර, ජනෙල්වල කාර්යභාර්ය වන්නේ හිරු ආලෝකය ඒ හරහා ගමන් කිරීමට සැලැස්වීමයි. එම නිසා රැවුලයි කැඳයි දෙකම බේරා ගෙන සාර්ථක ලෙස මෙය නිමැවීමට ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ අනන්‍ය ප්‍රයෝගයක් උපකාරී වී තිබෙනවා.

පර්යේෂකයන් නැනෝමීටර කිහිපයක විශාලත්වයෙන් යුත් සිලිකෝන් අණු ක්වොන්ටම් තිත් ආකාරයෙන් වීදුරු තහඩුවකට පුරවා, වීදුරුව නිමැවුවා, මෙම ක්වොන්ටම් තිත්වල හිරු එළිය පතිත වන විට, ඒවා එය උරාගෙන, වෙනත් සංඛ්‍යාතයකින් තවත් වැඩියෙන් ආලෝකය විමෝචනය කරනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ හැදෑරූ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගැන මතක් කරගත්තොත්, (මෙම සංඛ්‍යාත පිළිබඳව පැහැදිලි සරල අවබෝධයක් ඔබට ලැබේවි.) මෙම ආලෝකය වීදුරුව තුළ පොලා පනිමින් (bounce) සිටින අතර, ජනේලයේ දාරවලට ළංවුණු වහාම, එලෙස පොලා පනිමින් සිටි ආලෝකය, ජනේලයේ දාර දිගේ සවිකර ඇති විශේෂ සෝලාර් පැනල් මඟින් අවශෝෂණය කර ගන්නවා.

ක්වොන්ටම් තිත් කුඩා මෙන්ම පැතිරී ඇති බවත්, ජනේලයට වදින අලෝකයෙන් වැඩි කොටසක් ඒ හරහා ගමන් කරන නමුත් ඇති තරමට ප්‍රමාණයක් දාර දෙසට ආපසු හැරෙමින් අවශ්‍ය විදුලිය ජනනය කිරීමට සමත් වෙනවා. තවත් වසර කිහිපයකින් ලොව පුරා නගරවල අහස සූරන මැදුරු (skyscrapers) වලට සාමාන්‍ය ජනෙල් වෙනුවට බලශක්තිය ජනනය කරන සෝලාර් ජනෙල් ප්‍රතිස්ථාපනය කරන්නට ඉතාමත් සාධාරණ හේතුවක් ඇති විය හැකි අතර, එවිට අපටත් සෝලාර් පැනල් වීදුරු හරහා එළිය බලන්නට සිදුවේවි.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »