ඩීසල් ට්‍රක් රථවලට අභියෝගකරන නවතම ටෙස්ලා ට්‍රක් රථය

2017-12-06 10:44:00       34
feature-top
පසුගිය සතියේ ටෙස්ලා සමාගම තම ප්‍රථම විද්‍යුත් ට්‍රක් රථය එළි දැක්වීය.

'ටෙස්ලා සෙමි' නම් වූ මෙම ට්‍රක් රථයේ විශේෂත්වය වනුයේ එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු සැතපුම් 500 ක දුරක් ධාවනය කළ හැකි වීමය.

ඇමෙරිකාවේ 'සෙමි ට්‍රේලර් ට්‍රක්' ලෙස හඳුන්වන මෙම වාහනය 2019 දී නිෂ්පාදනය සදහා යොමු කිරීමට නියමිත බව ටෙස්ලා සමාගම පවසයි.

නව ට්‍රක් රිය දියත් කිරීමේ අවස්ථාවට එක්වූ පිරිස මවිතයට පත් කරමින් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් තවත් හෙළිදරව්වක් කරමින් කියා සිටියේ මේ "එදා මෙදා තුර වේගයෙන්ම නිෂ්පාදනය කෙරුණු රථය" බවය.

ඒ සමග මස්ක් තවත් හෙළිදරව්වක් කරද්දී විද්‍යුත් ට්‍රක් රියේ ට්‍රේලරයෙන් පිටතට පැමිණියේ, මෝටර් රථ තරඟ වලට යොදා ගන්නා අධි බලැති රතු පැහැති මෝටර් රථයකි.

එක් වරක් ආරෝපණය කළ පසු කිලෝමීටර් 1000 (සැතපුම් 620) ක දුරක් ධාවනය කල හැකි එම මෝටර් රථය තත්පර 4.2 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ පැයට කිලෝමීටර 0 සිට 100 ට වේගය වැඩි කළ හැක.

එලොන් මස්ක් මෙම රථය හඳුන්වා දෙන්නේ "ඉන්ධන භාවිත කරන වාහන වලට දිගු කාලීන පරාජයක්" අත්කර දීමක් ලෙසය.

ඇමරිකාවේ ට්‍රක් රථයක ගෙන යා හැකි වැඩිම බර වන කිලෝග්රෑම් 36,287 (රාත්තල් 80,000) ක බර පටවා ගත් ටෙස්ලා සෙමි ට්‍රක් රිය තත්පර 20 දී පැයට කිලෝමීටර් 60 ක වේගයක් කරා ළඟා විය හැක.

කෙසේ වෙතත්, ටෙස්ලා නිෂ්පාදනයක් වන Model 3 මෝටර් රථයට ලැබුණ ඉල්ලුම සපුරාලීමට සමාගම අපොහොසත් වීම නිසා එලොන් මස්ක් දිගින් දිගටම ආයෝජකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ විවේචනයට ලක්විණි.

කර්මාන්තශාලාවේ ප්‍රමාද හේතුවෙන් Model 3 මෝටර් රථය නියමිත කාලය ඇතුළත නිෂ්පාදනය කරගත නොහැකි හේතුව, ප්‍රධාන විධායක නිලධාරී මස්ක් ගේ වචනයෙන් ම කිවහොත් "නිෂ්පාදන අපායකි".

2017 වසරේ අග භාගය වන විට Model 3 මෝටර් රථ 1,500 ක් නිෂ්පාදනය කිරීමට ආයතනය බලාපොරොත්තු වූවද, මේ වන විට නිම කර ගත හැකි වී තිබෙන්නේ මෝටර් රථ 260 ක් පමණි.

තත්ත්වය මෙසේ තිබියදී මස්ක් ඇතුලු ටෙස්ලා සමාගම නව සුපිරි ට්‍රක් රථයක් හඳුන්වාදීම තම ආයතනය සතු තාක්ෂණය අධි තක්සේරු කිරීමක් ද, ව්‍යාපාර ප්‍රවර්ධන කටයුත්තක්ද නැතහොත් සාමාන්‍ය පුද්ගලයෙකුට දැරිය හැකි මුදලකට වෙළෙඳපොළට නිකුත් කරන Model 3 මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමාදය වසා ගැනීමට කළ දෙයක් දැයි පැහැදිලි නැත.

Model 3 මෝටර් රථයේ දක්නට ලැබෙන උපාංග කිහිපයක් ටෙස්ලා සෙමි ට්‍රක් රථයේ ද දැක ගත හැකිය. ටෙස්ලා සෙමි ට්‍රක් රථයේ සෑම රෝදයකටම බලය සැපයෙන මෝටරය සහ ඇතුළත ඇති ස්පර්ශ සංවේදී තිර (Touch Screen) දෙක මෙම රථ දෙකෙහිම එක හා සාමානය.

ට්‍රක් රථ වලට ඇති විශාල ඉල්ලුමත් සමඟ ඉතා තරඟකාරී වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත. ඇමරිකාවෙන් පමණක් වාර්තාවන ට්‍රක් රථ රියදුරන් ගණන ආසන්න වශයෙන් මිලියන 3.5 කි. එයින් වැඩි පිරිසක් භාවිත කරන්නේ ඩීසල් ට්‍රක් රථය. ටෙස්ලා සෙමි රථයට ඩීසල් වාහන වෙළෙඳපොළ සමඟ තරඟ කිරීමට අපහසු අතර, එයට සරිලන බලයක් සහිත විද්‍යුත් කෝෂ සාධාරණ මිලකට නිෂ්පාදනය කිරීමට හැකි වේද යැයි විශේෂඥයින් සැක පහළ කර සිටී.

කාර්නෙගී මෙලොන් විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණයකට අනුව "සැතපුම් 300 ක් ධාවනය කිරීමට අවශ්‍ය විද්‍යුත් කෝෂ වල මිල ඩොලර් ලක්ෂ දෙකක් පමණ වේ"

"මෙය ඩීසල් වලින් බල ගැන්වෙන සෙමි ට්‍රක් රථයකට වඩා සෑහෙන්න ලොකු මුදලක්. ඒ වගේම සම්පූර්ණ ඩීසල් වාහනයක සාමාන්‍ය මිල වන්නේ ඩොලර් 120,000 ක් විතරයි"

මස්ක් පවසන පරිදි, ටෙස්ලා සමාගම විසින් සකසන ලද විද්‍යුත් කෝෂ ආරෝපණය කරන අති විශාල උපකරණය මඟින් ටෙස්ලා සෙමි රථය විනාඩි 30 ක් ආරෝපණය කළ පසු කිලෝමීටර 643 (සැතපුම් 400) ක දුරක් ධාවනය කළ හැකිය.

සාපේක්ෂව ගත් කළ, ටෙස්ලා සෙමි රථයක් සැතපුමක් ධාවනය කිරීමට හා නඩත්තු කිරීමට වැයවන මුදලට වැඩි මුදලක් ඩීසල් රථයක් සදහා වැයවන බව එම සමාගම පවසා සිටී. නමුත් ටෙස්ලා සමාගම මේ දක්වා කිසිම අවස්ථාවක මෙම ට්‍රක් රථයේ මිල සඳහන් කර නොමැත.

ඩීසල් භාවිතය ප්‍රවර්ධනය කිරීම සදහා, ව්‍යාපාරිකයන් කණ්ඩායමකින් සැදුම් ලත් The Diesel Technology Forum (ඩීසල් තාක්ෂණය පිලිබඳ කතිකාවත) ප්‍රකාශ කර සිටින්නේ, ටෙස්ලා සමාගම තම නිමැවුම ප්‍රසිද්ධ කිරීමේදී "යථාර්ථයට ගැළපෙන සේ තක්සේරු කළ යුතුයි" යන්නය.

"ඩීසල් තමයි වැඩියෙන්ම බලශක්ති කාර්යක්ෂමව ඇතුළතින් දහනය වන එන්ජිම", කතිකාවේ විධායක අධ්‍යක්ෂ ඇලන් ෆේශර් පවසා සිටී.

"එය දශක ගණනාවක සිට අනෙකුත් ඉන්ධන වර්ග වලින් එන අභියෝග හමුවේ ට්‍රක් රථ කර්මාන්ත තාක්ෂණයේ ආධිපත්‍යය රැකගෙන ඉන්නවා".

ඔහු තව දුරටත් පවසා සිටියේ "අදටත් තවම ඩීසල් වාහනවල විශේෂාංග බොහෝමයක් තියෙනවා: දැනටමත් ඔප්පු වී ඇති කාර්යක්ෂම ඉන්ධන දහනය, ආර්ථික වාසි, බලය, විශ්වාසනීය බව, දිගු කාලීන පැවත්ම, පහසුවෙන් ලබා ගත හැකි වීම, ඉන්ධන පිරවුම් හල් සෑම තැනකම ඇති අතර අනිත් සේවාවන්ද පහසුවෙන් ලබා ගන්න පුලුවන්. ඒ වගේම දැන් මෙම එන්ජින් වල විමෝචනය ශුන්‍යයයි."

ඩීසල් වාහන ප්‍රවර්ධනය කරන පිරිසට අමතරව අනෙකුත් විද්‍යුත් වාහන නිපදවන ප්‍රතිවාදීන්ට මුහුණ දීමටද ටෙස්ලා සමාගමට සිදුවේ. ඩෙයිම්ලර්, වොක්ස්වැගන්, කමින්ස් යන මෝටර් රථ කර්මාන්තයේ දැවැන්තයන් මේ වන විට විවිධ මාදිලියේ විද්‍යුත් වාහන එළි දක්වා තිබෙනවා. මෙම සුවිශේෂී වාහන නිෂ්පාදනය ඉතා පහළ මට්ටමක පවතින අතර, දැනට කිසිවක් මාර්ග වල දක්නට ලැබෙන්නේ නැත.

ටෙස්ලා සමාගම විශ්වාස කර සිටින්නේ, වාහන වල ඇතුළත ආරක්ෂාව සහ සුව පහසුව ඉහළ නැංවීමෙන් වෙළෙඳපොළේ ඇති අනෙකුත් විද්යුත් වාහන වලට වඩා වැඩි යමක් ඔවුන්ගේ වාහන තුළ දැකිය හැකි බවය.

එම සමාගම උදම් අනමින් කියා සිටින්නේ, "ටෙස්ලා සෙමි රථය ඇතුළත සවි කර තිබෙන සංවේදක වලින් වාහනය අස්ථාවර වීම් හඳුනාගන්නවා. ඒවා එක් එක් රෝදයේ අවශ්‍යය සහ අනවශ්‍යය හැරවීම් වලට ප්‍රතික්‍රියා දක්වමින් තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කර, හැරවීමේදී ට්‍රක් රියේ බඳ කොටස සහ මුහුණත දිශාවන් දෙකකට නැමීම වළක්වා තිබෙනවා"

"වටේම සවි කර ඇති කැමරා වලින් වස්තූන් හඳුනාගැනීම සහ වාහනය ඇතුළේ සිට බලන විට නොපෙනෙන පැති අවම කිරීමෙන් රියදුරන්ට ආරක්ෂාව ගැන වගේම අනෙක් වස්තූන් ගැන ද අනතුරු හැඟවෙනවා".

"වැඩි දියුණු කළ ස්වයංක්‍රීය ධාවන ක්‍රියාවලියත් සමඟ ටෙස්ලා සෙමි රථය ස්වයංක්‍රීය හදිසි තිරිංග පද්ධතියක්, වාහනය ස්වයංක්‍රීයව මංතීරුවේ රඳවා ගැනීම සහ මංතීරුවෙන් පිටතට යන විට අනතුරු අඟවන උපාංග වලින් සාදා තිබෙනවා".

ටෙස්ලා රථයේ ස්වයංක්‍රීය ධාවන පද්ධතිය යනු, රියදුරෙකු නොමැතිව රථය මාර්ගයේ ගමන් කිරීමට ඇති හැකියාවයි. විශේෂයෙන්ම මෙමඟින් රථය මංතීරුවේ රඳවා ගැනීම සිදු කරන අතර, වාහන තදබදයක් පෙර තියා හඳුනාගෙන කෙමෙන් වේගය පාලනය කිරීමටද සමත් වේ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »