දෝෂයක් හේතුවෙන් අයිෆෝන්, අයිපෑඩ් සහ මැක් පරිගණකවලට බලපෑම්

2018-01-11 11:05:00       104
feature-top
පරිගණක චිප්වල (Chips) මතුව ඇති ප්‍රධාන දෝෂ දෙකක් අයි ෆෝන් (iPhones), අයි පෑඩ් (iPads) සහ මැක් (Mac) පරිගණක කෙරෙහි බලපෑම් එල්ල කර ඇතැයි ඇපල් සමාගම පවසයි.

පරිගණක පද්ධති තුළට රහසින් ඇතුළු වී දත්ත සොරා ගැනීමට ඉඩ සැලසෙන ඉහත කී දෝෂවලට විසඳුම් සෙවීම සඳහා තාක්ෂණික සමාගම් කටයුතු කරමින් සිටින බව මේ සතියේ දී වාර්තා විය.

අදාළ දෝෂ සඳහා දැනටමත් තාවකාලික විසඳුම් කිහිපයක් නිකුත් කර ඇති බව ඇපල් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් පවතින අනතුරුදායක තත්ත්වය අයුතු ලෙස යොදා ගෙන ඇති බවට සාක්ෂි ලැබී නොමැති බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ අතර අදාළ දෝෂ හේතුවෙන් ඇපල් අත් ඔරලෝසුවලට බලපෑමක් එල්ල වී නොමැති බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉන්ටෙල් ප්‍රොසෙසර (Intel processors) හා සම්බන්ධ දෝෂයෙන් ඇපල් අත් ඔරලෝසුවලට බලපෑමක් එල්ල වී නොමැත්තේ ඒ තුළ එම ප්‍රොසෙසර (Processors) අඩංගු කර නොමැති බැවිනි.

හානිකර ඇප් (App) මගින් ආරක්ෂා වී සිටීම සඳහා විශ්වසනීය මාර්ග ඔස්සේ පමණක් මෘදුකාංග බාගත කර ගන්නා මෙන් ඇපල් සමාගම නිර්දේශ කරයි.

උදාහරණයක් වශයෙන් ඇනරොයිඩ් ජංගම දුරකතන හෝ මයික්‍රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධති අඩංගු පරිගණකවලට වඩා ඇපල් නිෂ්පාදන සහ එම සමාගමේ මෙහෙයුම් පද්ධති ආරක්ෂාකාරී බව මැක් පාරිභෝගිකයන්ගේ පොදු පිළිගැනීම වී තිබේ.

කෙසේ නමුත් අදාළ දෝෂ ඉන්ටෙල් (Intel ) සහ ඒආර්එම් (ARM) යන සමාගම්වල නිෂ්පාදනය කෙරෙන සියලුම නවීන පරිගණක පිරික්සුම් ඒකක (Processing units) තුළ හමු වේ.

ලෝක පරිගණක වෙළඳපොල වෙත සම්පූර්ණයෙන්ම පාහේ අදාළ නිෂ්පාදන සපයනු ලබන්නේ ඉන්ටෙල් (Intel ) සහ ඒආර්එම් (ARM) යන සමාගම් දෙක විසිනි.

"සියලුම මැක් (Mac) පද්ධති සහ අයිඕඑස් (අයි මෙහෙයුම් පද්ධති) අඩංගු උපාංගවලට බලපෑම් එල්ල වී තිබෙනවා. නමුත් පාරිභෝගිකයන් වෙත බලපාන අයුතු ප්‍රයෝජන ගැනීම් මෙතෙක් වාර්තා වී නැහැ" අදාළ දෝෂ සම්බන්ධයෙන් ඇපල් සමාගම සිය බ්ලොග් සටහනක සඳහන් කර තිබේ.

"මේ ගැටලු සියලුම නවීන පරිගණක ප්‍රොසෙසරවලටත් සියලුම පාහේ පරිගණක උපාංගවලට සහ මෙහෙයුම් පද්ධතිවලටත් බලපානවා" යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »