'ෆැල්කන් හෙවි' සාර්ථකව අභ්‍යවකාශ ගත කෙරේ

2018-02-14 10:25:00       53
feature-top
ඇමරිකානු ව්‍යවසායක ඊලොන් මස්ක් විසින් සිය නවතම රොකට් යානය, ෆැල්කන් හෙවි (Falcon Heavy) සාර්ථකව අභ්‍යවකශගත කරනු ලැබීය.

ෆැල්කන් හෙවි රොකට් යානය දියත් කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

මෙතෙක් නිර්මාණය කරන ලද ප්‍රබලතම රොකට් යානය වන ෆැල්කන් හෙවි, කිසිඳු උපද්‍රවයකින් තොරව වේදිකාව මතින් නික්මව අත්ලාන්තික් සාගරයට ඉහළින් පිහිටි ගුවන් තලය වෙත ළඟා විය.

අලුතින් රොකට් යානයක් නිර්මාණය කර ගුවන්ගත කිරීමේ අභියෝගය සාර්ථක වීමේ හැකියාව 50- 50 බව ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ විධායක අධ්‍යක්ෂ ඊලොන් මස්ක් පැවසීය.

"වේදිකාව මත යෝධ පිපිරීමක් සිදුවන දර්ශන මා තුළ තිබුණා, නමුත් වාසනාවකට එසේ සිදු වූයේ නැහැ" යනුවෙන් රොකට් යානය ගුවන් ගත කරනු ලැබීමෙන් අනතුරුව ඔහු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

ටොන් හැට අටක් (පහළ පෘථිවි කක්ෂයේදී ) බර රැගෙන යා හැකි පරිදි ෆැල්කන් හෙවි රොකට් යානය නිර්මාණය කර ඇත. එම බර ලන්ඩනයේ දැකිය හැකි තට්ටු දෙකේ බස් රථ පහකට සමානය.

ෆැල්කන් හෙවි යානය තුළ ඊලොන් මස්ක්ට අයත් ටෙස්ලා (Tesla) ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථයක් ද වේ.

අභ්‍යවකාශගාමීන් භාවිත කරනු ලබන ඇඳුමක් ඇඟලු මිනිස් ආකෘතියක් එහි රියදුරු අසුනේ හිඳුවා ඇති අතර එහි ඇති රේඩියෝ යන්ත්‍රය හරහා ඩේවිඩ් බෝවිගේ ගීතයක් වාදනය වීමට සලස්වා ඇත.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »