ලොව ප්‍රධාන පෙළේ තරගයකට මොරටු සරසවි සිසුන්ගෙන් විදුලි මෝටර් රියක්

2018-03-09 10:47:00       556
feature-top
කාර්මික තාක්ෂණ දියුණුව රටක සංවර්ධනය පෙන්නුම් කරන එක් මිණුම් දණ්ඩකි. අපේ රට කාර්මික තාක්ෂණය අතින් සිටිනුයේ ලෝකයේ සෙසු රටවලට වඩා පහළ අඩියකය. එසේ තිබියදී ලොව ප්‍රධාන පෙළේ මෝටර් රථ නිර්මාණ තරගාවලියක් සඳහා අප රටට ඇරැයුම් ලැබීම සුවිශේෂ කරුණකි. මේ සුවිශේෂ තරගාවලිය පැවැත්වෙනුයේ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙනි. ඒ සඳහා සුදුසුකම් ලැබ එම තරගාවලිය සඳහා විදුලි බලයෙන් ක්‍රියාත්මක කෙරෙන රේසින් මෝටර් රථයක් නිර්මාණය කිරීමට සැරැසෙනුයේ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකි.

මේ ‍අපූරු උත්සාහය දරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුන් 20 දෙනෙකි. ඔවුන් මෙම විදුලි මෝටර් රථය නිපදවීමට සැරැසෙනුයේ ලබන අගෝස්තු මාසයේදී ජර්මනියේ හොකන්හයින්හිදී පැවැත්වීමට නියමිත ෆෝමියුලා ස්ටුඩන්ට් මෝටර් රථ තරගාවලියට ඉදිරිපත් කිරිම සඳහාය. මේ තරගාවලිය සංවිධානය කරනුයේ අන්තර්ජාතික මෝටර් රථ ඉංජිනේරුවන්ගේ සංගමය (SAE- Society of Automotive Engineers) විසිනි. ඒ සඳහා ඉදිරිපත් කෙරෙන මෝටර් රථය නිර්මාණය කිරීමට අවශ්‍ය සියල්ල මේ වනවිට සූදානම්කොට හමාර වුවත් ඒ සඳහා වැය වන බරපැන හමුවේ එම සිසුන් පිරිස අතරමංව සිටිති.

මෝටර් රථය නිර්මාණය කිරීමේ කර්තව්‍යයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි වශයෙන් කටයුතු කරන්නේ ෂෙහාර පෙරේරාය.

“විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් සෑම වර්ෂයකම මෙවැනි තරගාවලි ජර්මනිය, ජපානය, ඔස්‍ට්‍රියාව, බ්‍රසීලය ආදි රටවල් 9ක පවත්වනවා. 1981 සිටම ජර්මනියේ පැවැත්වෙන මේ තරගාවලියේදී අභ්‍යන්තර දහන එන්ජිමක් සහිත (Internal combustion vehicle), විද්යුත් (Electric Vehicle) හා රියැදුරු රහිත (Driver-less Vehicle) මෝටර් රථ ලෙස ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ තරගකරුවන්ට නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා. අප කණ්ඩායම ඉදිරිපත් වන්නේ විද්යුත් මෝටර් රථ කාණ්ඩය යටතේයි.” ෂෙහාර පැහැදිලි කළේය.

ඔවුන් සිය කණ්ඩායම නම්කර ඇත්තේ ලොව වේගවත්ම පක්ෂියා වන ෆෝල්කන් පක්ෂියාගේ නම සහිත ‘ෆෝල්කන් ඊ රේසින්’ කණ්ඩායම ලෙසිනි.

මෙවැනි තරගාවලියකට ඉදිරිපත් වීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා සුදුස්සන් තෝරනු ලැබුවේ ඔන් ලයින් ක්‍රමයට පැවැති තරගයකිනි.

“කාණ්ඩ තුනටම මුළු ලෝකයෙන්ම කණ්ඩායම් 300කට වැඩිය ලියාපදිංචි වුණා. අපේ කාණ්ඩයට කණ්ඩායම් 102ක් ලියාපදිංචි වෙලා හිටියා. එහිදී ඔන්ලයින් ක්‍රමයට පැවැති ප්‍රශ්නෝත්තර තරගයෙන් කණ්ඩායම් 40ක් තෝරාගත්තා.”

එහිදී තේරුණු කණ්ඩායම් හතළිහ අතරින් ජර්මනියේ ඩ්‍රෙස්ඩන් තාක්ෂණික විශ්වවිද්‍යාලයට පමණක් දෙවැනි වෙමින් මොරටු විශ්වවිද්‍යාල කණ්ඩායම දෙවැනියට අඩුම කාල පරාසයක් වාර්තා කරමින් තරගාවලියට ඇතුළුවීම ද විශේෂත්වයකි.

මේ වන විට මෝටර් රථය නිර්මාණය කිරීමට අවැසි ඉස්තරම්ම උපාංග ඇමෙරිකාව, චීනය, ලැට්වියාව ආදි ලොව නන්දෙසින් ඇණවුම්කොටද හමාරය. මෝටර් රථය නිර්මාණයේ සැකෙවි විස්තරයක් ඉදිරිපත් කළේ කණ්ඩායම් නායක නිරංග මයුරන් සිසුවායි.

“අපි හදන්නෙ රේසින් කාර් එකක්. සින්ගල් සීට්. රථය ඩිසයින් කිරීමේ වැඩ කටයුතුවලින් සියයට 90ක් පමණ අවසානයි. අපේ ඉලක්කය අප්‍රේල් වන විට මෙය හදලා ඉවර කරන්නයි. ඒත් අපිට ලොකුම ගැටලුව බරපැන. මෝටර් රථය නිර්මාණයේදී යොදා ගන්නා එන්ජිම වගේම චැසිය සඳහා යොදා ගන්නා‍‍ දේ ඇතුළු සියලුම තීන්දු තීරණ ගත්තේ අපමයි. නමුත් අපට අපේ පීඨයේ සියලු දෙනාගෙන්ම බොහෝ උපදෙස් වගේම සහායත් ලැබෙනවා.

මේ රථයේ උපරීම ධාරිතාව කිලෝ වොට් 80 යි. මෙය නිර්මාණයේදී වර්තමානයේ තිබෙන නවීන මෝටර් රථවල තිබෙන සියලුම උපාංග ඇතුළත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් කිව්වොත්, වර්තමානයේ තිබෙන හයිබ්‍රිඩ් රථවල තිබෙන තිරිංග පෑගීමේදී ධාවනය වන ශක්තිය නැවතත් බැටරියට ගමන් කිරීම වැනි සියලුම නවීන උපාංග අපි මීට ඇතුළත් කරනවා.”

මේ රථය නිර්මාණයේ මූල්‍ය කළමනාකරණය ඇතුළු සියලුම අධීක්ෂණ කටයුතු කරමින් දායක වනුයේ යන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තුමේන්තුවේ අංශාධිපති මහාචාර්ය රුවන් ගෝපුර, පීඨ උපදේශක සසිරංග ද සිල්වා, විද්යුත් පද්ධති උපදේශක ආචර්ය තිලිණ ලලිතරත්න හා ව්‍යාපෘති සම්බන්ධීකාරක ජේ. ආර්. ගමගේ යන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ය.

මේ සඳහා විශ්වවිද්‍යාලයෙන් ලැබෙන දායකත්වය ගැන අපට කීවේ පීඨ උපදේශක සසිරංග ද සිල්වායි.

“2016 එංගලන්තයේ පැවැති මෙවැනිම තරගාවලියකටත් අපේ විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් ඉදිරිපත් වෙලා සම්මාන තුනක් දිනාගත්තා. අපි මේ අයට අපේ පැත්තෙන් ලබා දෙන්න පුළුවන් උපරීම දායකත්වය ලබා දෙනවා. විශේෂයෙන්ම මෙවැනි තරගාවලියකදී කළ යුත්තෙ කුමක්ද කියා අපි ඔවුන් දැනුම්වත් කරනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ අපේ පැකල්ටියේ විද්‍යාගාරයේ වෙනමම කොටසක් මේ අය වෙනුවෙන් රාත්‍රී 11 වන තෙක්ම විවෘත කර දී තිබෙනවා. අනධ්‍යයන සේවක මණ්ඩලයත් මේ කාර්යය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා.”

සැබැවින්ම මෙය අපේ රටේ නම ලොවට ගෙන යෑමට ලැබෙන මහඟු අවස්ථාවකි. මේ මෝටර් රථය නිපදවීම සඳහා ලක්ෂ

70කට වැඩි මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇත්තේය. උපාංග සපයන ආයතන ද උපරිම සහන මිලකට උපාංග සැපයීමට එකඟවී ඇත්තේය. එහෙත් වැයවන බර පැන මේ සිසු පිරිසට පමණක් දැරිය නොහැකි තරම්ය. ඒ සඳහා රටේ පුරවැසියන් ලෙස අප වෙතින් ද යම් දායකත්වයක් ලැබේනම් එය අගනේය. සිසු දරුවන්ගේ මේ ප්‍රයත්නය වෙනුවෙන් දිරියක් දීමට ඔබටත් අවස්ථාව ඇත්තේය.

ඒ සඳහා 0718728905 දුරකථන අංකය ඇමැතීමෙන් හෝ www.falconeracing.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »