‘ක්ලැසික් කාර්’ දොස්තර

2018-11-12 12:17:00       211
feature-top
මිනිසකුගේ වෘත්තිය සහ විනෝදාංශය අතර අහසට පොළොව මෙන් වන පරස්පර විරෝධතා තිබිය හැකිය. වඩාත් සුන්දර වන්නේ ඒ පරස්පර විරෝධය විශාල වූ තරමටය. එසේ වූ විට එවැනි වෘත්තියක් සහ විනෝදාංශයක් අතර දෝලනය වන පුද්ගලයාගේ ජීවිතය ආනන්දනීය වන්නේය. වෛද්‍ය කාලිංග ගිනිගේද එවන් ආනන්දනීය ජීවිතයක් ගෙවන්නෙකැයි මට සිතුණේ ඔහුගේ පැරණි මෝටර් රථ එකතුව දකිද්දීය.

ඔහු වෘත්තියෙන්බෙහෙවින් කාර්යබහුල වෛද්‍යවරයෙකි. පොලිස් රෝහලේ ඔහුගේ සේවාමුරය අතරතුර එක් මොහොතක විවේකයක් ඔහුට නම් නැතිය. එහෙත් කොළඹ මධ්‍යයේ පිහිටියේ වුවද මහා නිස්කලංක බවක් දැනෙන ඔහුගේ නිවෙස කෞතුකාගාරයක් වැනිය. එහි අභ්‍යන්තරයට තැබෙන අඩියක් අඩියක් පාසා ඔහුගේ කෞතුක වස්තු ලෝලිත්වය විද්‍යමාන වන්නේය. සැබැවින්ම ඒ මහා එකතුවකි. ඒ අතර පැරණි මෝටර් රථ සහ යතුරු පැදිද රාශියකි. පැරණි බිත්ති ඔරලෝසු, පැරණි ග්රැමෆෝන් යන්ත්‍ර, යතුරුලියන මෙකී-නොකී කෞතුක වස්තු සම්භාරයක් ඔහුගේ නිවෙසේ සුරැකිව තැන්පත් කර තිබේ.

ඒ කෙසේ වුවද අපගේ මූලික අරමුණ වූයේ මේ පැරණි හෙවත් ‘ක්ලැසික් කාර්’ රසිකයාගේ කාර් පිස්සුව ගැන දැනගැනීමය. එබැවින්ම සෙසු පෞරාණික වස්තු අපහසුවෙන් මඟහරිමින් පැරණි මෝටර් රථ එකතුව ගැන ඔහුගේ අදහස් විමසීමි.

“මම ඉගෙනගත්තේ කොළඹ රාජකීය විදුහලේ. වාහනවලට ආසා කළේ ඉස්කෝලේ යන කාලෙ ඉඳලමයි. වැඩියෙන්ම පරණ වාහනවලට. උසස් පෙළට මුහුණ දීපු පළමුවැනි අවස්ථාවේදීම වෛද්‍ය විද්‍යාලයට තේරෙන්න මට හැකියාව ලැබුණා. වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ආරම්භ කරන තුරු නිරත වෙන්න රැකියාවක් පාසලෙන්ම හොයලා දුන්නා. ඒක ඒ කාලේ උසස් ලෙස උසස් පෙළ සමත් වන සිසුන්ට පාසලෙන් ලැබුණු තෑග්ගක්. මට ලැබුණු රැකියාව ගිණුම්කරණය හා සම්බන්ධයි. මම ජීවිතේට ගිණුම්කරණය ඉගෙනගෙන නැති වුණත් රැකියාව කරන්න මගේ අකැමැත්තක් තිබුණේ නැහැ. ඔය විදිහට විශ්වවිද්‍යාල ජීවිතය ඇරඹෙන්න කලින් මගේ අතේ සල්ලි ගැවසෙන්න පටන් ගත්තා. දැන් මට ඕනේ මගේ හීනෙ හැබෑ කරගන්න. ඒ හීනේ තමයි පරණ වාහන. ඒත් කාර් ගන්න තරම් සල්ලි නැහැ. ඒ නිසා පරණ බයික්එකක් ගන්න හිතුවා.

“වැලිකඩ රේල්වේ ක්වාටර්ස්වල මම හොයන විදිහේ බයික්එකක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. මම යාළුවෙක් එක්ක ගිහින් බැලුවා. බයික්එකට මම කැමතියි. කීයද කියලා ඇහුවාම රුපියල් 1000යි කිව්වා. අඩු කරලා රුපියල් 900ට කතා කරගත්තා. ඉක්මනින්ම ඒ මුදල හදාගෙන යාළුවෙක් එක්ක බයික්එක ගන්න ගියා. එතනදී අයිතිකාරයා තවත් රුපියල් 100ක් ආපහු මට දුන්නා.

“බයික්එකේ එන්ජින් පද්ධතිය මොකුත් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා යාළුවාගේ තාත්තාගේ බයික්එකෙන් ඇදගෙන තමයි ගෙනාවේ. දැන් මගේ හීනය හරි. මම බයික්එක හොඳින් අලුත්වැඩියා කරන්න පටන් ගත්තා. බයික්එකේ නම්බර්එක EN 1917.

“මේ තමයි මගේ ක්ලැස්ක් වාහන ගමනේ ආරම්භය. එදා ඉඳන් අද දක්වාම ක්ලැසික් වාහන එකතු කරනවා.”

වෛද්‍ය ගිනිගේ පැරණි වාහනවලට මෙන්ම යතුරුපැදිවලටද එකසේ කැමැත්ත දක්වන්නේය. තම රුචිකත්වය සමඟ සැසඳෙන පැරණි වාහනයක් වේද, එය තමා සතු කරගැනීමට ඔහු උපරිම උත්සාහ දරන්නේය. බොහෝ විට ගරාජයක දිරා යන මෙවැනි වාහන මිල දී ගැනීම පහසු වුවද ඒවා අලුත්වැඩියාව එතරම් පහසු නොවන්නේය. ඇතැම්විටෙක මිල දී ගත් වාහන වසර ගණනක් පුරා අලුත්වැඩියා කිරීමට සිදුවූ බව වෛද්‍ය කාලිංග පවසන්නේය. මෙලෙස ප්‍රථමයෙන් තමා ඉපයූ මුදලින් පැරණි යතුරුපැදියක් තමා සතු කරගැනීමට සමත් වුවද පළමුවැනි ක්ලැසික් කාර් රථය ඔහුට ලැබෙන්නේ දෙමවුපියන්ගේ තිළිණයක් ලෙසිනි.

“රාගම මෙඩිකල් ෆැකල්ටියේ තමයි මට වෛද්‍ය අධ්‍යාපනය ලබන්න නියමිත වුණේ. ගෙදර ඉඳන් යන්න ටිකක් දුර නිසා මම රාගම නැවතුණා. මේ අතරේ අපට ඉංග්‍රීසි භාෂාවෙන් පෙනී ඉන්න නියමිත වුණු විභාගයක් තිබුණා. මේ විභාගය සමත් වෙන්න අසීරු එකක් කියලා තමයි ප්‍රසිද්ධ වෙලා තිබුණේ. කොහොම හරි මම මේ විභාගයට පෙනී හිටියා. ප්‍රතිඵල ආවාම මම සමත් වෙලා. මම ඒ බව දුරකතනයෙන් ගෙදරට දැනුම් දුන්නා. අම්මටයි තාත්තටයි හරිම සතුටුයි. ඒ සති අන්තයේ මම ගෙදර යනකොට එතෙක් කලක් මම ආසාවෙන් බලබලා හිටපු, ඒත් මිල දී ගන්න තරම් වත්කමක් නොතිබුණු ක්ලැසික් කාර්එකක් ගේ ඉස්සරහ නවත්තලා තිබුණා. ඒ කාර්එක නාවල පාර අයිනේ නිවෙසක දිරා යමින් තිබුණු එකක්. මේ කාර්එක මිල දී ගන්න මට සල්ලි නැති බව මම හොඳින්ම දැනගෙන හිටියා. ඒත් නාවල පැත්තේ ගියොත් මම වටයක් දාලා මේ කාර්එකත් බලාගෙනම තමයි යන්නේ. අම්මලාත් මගේ මේ පුරුද්ද දැනගෙන හිටියා. අම්මා එක්ක ගමන් යන අතරෙත් මේ කාර්එක බලන්න ගිහිල්ලා බැණුම් අහගෙනත් තිබුණා. ඒ කාර්එකට මම කොච්චර ආසාද කියලා එයාලා හොඳටම දැනගෙන හිටියා. අන්න ඒ කාර්එක තමයි මට තෑග්ගක් විදිහට එයාලා අරගෙන තිබුණේ.

“මේ කාර්එකේ නම්බර්එක X 9233. ලංකාවේ ලියාපදිංචි කරලා තිබ්බේ 1934දී. ඔස්ටින් 7 වර්ගයේ කාර්එකක්. ඒක දැක්කම මට රටක්-රාජ්‍යයක් ලැබුණා වගේ දැනුණා. ඒ තමයි මගේ පළමුවැනි ක්ලැසික් කාර්එක. මේ විදිහට කාර් එකතු කරන්න අරගත්තට, එක කාලෙක මට ඒ විනෝදාංශය අත්හැරිලාම තිබුණා. ඒත් 2003න් පස්සේ මම දැන් ආයෙම ක්ලැසික් කාර් එක්ක ජීවත් වෙනවා.”

වෛද්‍ය කාලිංග පවසන්නේ නම නිවෙසේ ඉඩකඩ මඳි වීම හේතුවෙන් පැරණි වාහන කිහිපයක් තම මිතුරන්ගේ නිවෙස්වලද නවතා ඇති බවයි. කෙසේ වුවත් ක්ලැසික් කාර් එකතුව විනෝදාංශයක් ලෙස පවත්වාගෙන යෑමේදී නොයෙක් ගැටලුවලට මුහුණ දීමට සිදු වන බවද ඔහු අවධාරණය කර සිටියේය.

“දිරා යමින් තිබෙන වාහන හොයාගෙන ඒවා මිනිසුන්ට දැකගන්න, අත්විඳින්න හැකි අන්දමට සකස් කිරීමෙන් එක් අතකින් අපි කරන්නෙ සමාජ මෙහෙවරක්. අපි මේ පෙළගස්වන්නේ අපේ රටේ එක්තරා කාලපරිච්ඡේයක්. මේ වාහන අපේ රටේ එක්තරා යුගයක ජීවමාන සාක්ෂි. ඒත් මේ වාහන ලියාපදිංචියේදී අපට විශාල ගැටලුවලට මුහුණ පෑමට සිදු වෙනවා. දිරා යමින් තිබෙන මේ වාහන අවුරුදු ගාණනාවකින් ලියාපදිංචි කරලා නැහැ. මේ වාහන අලුත්වැඩියා කරලා ලියාපදිංචි කරන්න ගියාම අපෙන් පරණ ලයිසන් කොළයක් ඉල්ලනවා. ඒ නැති වුණාම අපට වසර ගණනාවකට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචිය අලුත් කරන්න කියනවා. එය අධික මුදලක් වැය වන වැඩක්. ඔවුන් හොඳින්ම දන්නවා මේ වාහන ලියාපංදිචි කළාට භාවිතය අවමයි කියලා. ඒ වගේම තමයි පරණ යතුරුපැදිවල කැපෑසිටිඑක වැඩියි. ඒ ප්‍රමාණයේ කැපෑසිටි සහිත යතුරුපැදි දැන් ලියාපදිංචි කිරීමට අවසර නැහැ. ඉතින් එවැනි යතුරුපැදි දිරාපත් වෙන්න ඉඩ අරින්න කියලද කියන්නේ?”

වෛද්‍ය කාලිංග එසේ විමසන්නේය. ඔහු පෙන්වා දෙන්නේ ක්ලැසික් වාහන අරක්ෂා කරගැනීම වෙනුවෙන් නෛතික පසුබිම වෙනස් වන්නේ නම් යහපත් බවයි. එමෙන්ම වසර පහකට වඩා වැඩි කලක් ලියාපදිංචි නොකරන ලද වාහනවලට අදාළ ලිපිගොනු මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ඉවත් කිරීමට තීරණය කර තිබීමද ගැටලුවක් බව ඔහු පෙන්වා දෙන්නේය. අප රටට විදේශ විනිමය උපයා දෙන, සංචාරක ආකර්ණය ගෙන දෙන ආදායම් මාර්ගයක්ද වන මේ විනෝදාංශය වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යෑමට රාජ්‍ය සහයෝගය සහිත නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීමට කාලය එළඹ ඇති බව ඔහු පවසන්නේය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »