0 Views  
පෘථිවියට කඩා වැටී ඇති 'සුපිරි' ග්‍රහක 6ක්‌

අභ්‍යවකාශයේ සිට ඇදී එන ග්‍රහක කැබැලි මිලියන ගණනක්‌ දිනක්‌ තුළ පෘථිවි වායුගෝලයට ඇතුළු වේ. මෙයින් බොහොමයක්‌ කුඩා දුහුවිලි අංශුවකට වඩා ප්‍රමාණයෙන් විශාල නො වේ. සැලකිය යුතු හානියක්‌ කළ හැකි තරමේ ග්‍රහකවලින් ඉඳහිට පෘථිවිය බැට කයි. මෙවැනි විශාල ප්‍රමාණයක ගැටුමක දී නිකුත් වන ආලෝකයේ දීප්තිය ඇතැම් විට සඳ එළිය තරම් හෝ ඊටත් ඉහළ හෝ විය හැකි ය.

ටුන්ගුස්‌කා

1908 ජූනි මස 08 වැනි දා මධ්‍යම සයිබීරියාවේ ටුන්ගුස්‌කා නදියට ඉහළින් දක්‌නට ලැබුණු පිපිරුම වූ ආකාරය හරියට ම කියන්නට දන්නා කෙනකු අදට ද නැත. මේ පිපිරුමෙන් වර්ග කිලෝමීටර 200ක භූමියක වූ වන වැස්‌ම බිමට සමතලා විය. අවට වාසය කළ ඉවෙන්කි ගෝත්‍රික ජනතාව විස්‌තර කර තිබුණේ පිපිරුමෙන් සතුන් අහසට විසි වී යනු දුටු බව ය. පිපිරීමේ දී ඇති වූ දීප්තිමත් ආලෝකය ලන්ඩනයට පවා දිස්‌ වූ බව ඇතැම් වාර්තාවල සඳහන් වේ.

දැනට විශ්වාස කෙරෙන්නේ දැවැන්ත අභ්‍යවකාශ ග්‍රහකයක්‌ හෝ වල්ගා තරුවක්‌ මේ පිපිරුමට මුල් වූ බව ය. එහෙත් ගැටලුව වන්නේ පිපිරුමට මුල් වූ ග්‍රහකයෙහි කැබැල්ලක්‌ හෝ මෙතෙක්‌ සොයාගෙන නො තිබීම ය. පවතින ආසන්න ම සාක්‌ෂිය වන්නේ පිපිරීමෙන් හටගත්තේ යෑයි විශ්වාස කෙරෙන ආවාටය යෑයි සැක කෙරෙන ඒ අවට ඇති 'චෙකෝ' නම් විලකි. එහෙත් මේ සම්බන්ධයෙන් විද්‍යාඥයන් අතර මතභේද පවතියි. සමහර විද්‍යාඥයන් කියා සිටින්නේ මෙ පිපිරුමට අභ්‍යවකාශ වස්‌තුවක්‌ සම්බන්ධ නැති අතර භූමි අභ්‍යන්තරයෙහි වූ දැවැන්ත ක්‌ෂණික වායු පිපිරුමක්‌ මීට මුල් වූ බව ය.

චෙලියාබින්ස්‌ක්‌

2013 වසරේ දිනක දකුණු රුසියාවේ චෙලියාබින්ස්‌ක්‌ නගරයට ඉහළින් දීප්තිමත් ග්‍රහක කැබැලි කිහිපයක්‌ වේගයෙන් ඇදී ආවේ ය. එම උල්කාපාත (ග්‍රහක) කැබැලිවල ආගමනය නම් විඩියෝගත කිරීමට නිරීක්‌ෂකයන්ට හැකි වී තිබිණි. 2012 DA14 නම් ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිත ව තිබුණේ ද හරියට ම එදින ය. එහෙත් මේ උල්කාපතනය සිදු වූයේ ඊට පැය 16කට පමණ පළමු ව ය. ඒ අනුව මෙය එදින සිදු වූ ඊට සමාන තවත් ග්‍රහක ආගමනයක්‌ ලෙස සැලකෙයි. මේ ගැටුමෙන් 10000කට අධික පුද්ගලයන් පිරිසකට තුවාල සිදු විය. බොහෝ විට ඒ පිපිරීමෙන් බිඳි ගිය වීදුරු කැබැලිවලට කැපීමෙනි.

පතිත වූ උල්කාෂ්ම කැබැලි පරීක්‌ෂා කිරීමේ දී විද්‍යාඥයන්ට පෙනී ගියේ මෙය කොන්ඩ්‍රයිට්‌ ගණයේ ලෝහමය මීටර 19ක්‌ පමණ පළලැති උල්කාවක ගැටීමක්‌ බවයි.

චික්‌සුලූබ්

මෙතෙක්‌ පෘථිවියෙහි සිදු ව ඇති දරුණු ම ග්‍රහක ගැටුම මෙය ලෙස සැලකෙයි. මීට වසර මිලියන 65කට ඉහත දී ඩයිනසෝරයන් මිහි මතිsන් අතුගෑවී යැමට මේ ග්‍රහක ගැටුම මුල් වූ බවට මතයක්‌ පවතියි. එම ගැටුමෙහි ප්‍රබලතාව කෙතෙක්‌ ද යත් මිහි මත විසූ ජීවීන් ගෙන් හතරෙන් තුනක්‌ ම ගැටුමෙහි ප්‍රතිඵලය ලෙස විනාශ වී ගිය බව විශ්වාස කෙරෙයි. මෙක්‌සිකෝවෙන් සොයාගන්නා ලද මේ ගැටුමින් නිර්මාණය වූයේ යෑයි සැලකෙන ආවාටය සෞරග්‍රහ මණ්‌ඩලයේ පවතින මිනිසාට ළගා විය හැකි ආවාට අතරින් පළමු තැනෙහි ලා සැලකිය හැකි ය. එමෙන් ම සෞරග්‍රහ මණ්‌ඩලයේ පවතින ආවාට අතරින් මෙය වඩාත් තරුණ ආවාටයකි. පසුගිය වසරේ පර්යේෂකයෝ පිරිසක්‌ මේ ආවාටයෙහි කිලෝමීටරයකට වැඩි ගැඹුරට කැණ එහි ඇති පාෂාණ හඳුනාගැනීමේ උත්සාහයක නිරත වූ හ. මේ ගැටුමේ දී පෘථිවි කබොල දිය වී ගියාක්‌ මෙන් තල්ලු වී ගියේ කඳු කිලෝමීටර ගණනක්‌ උසින් වැඩි කරමින් සහ විනාඩි 3ක්‌ වැනි කාලයක්‌ ඇතුළත නැවත ඒවා බිමට සමතලා කරමිනි. (විද්‍යාඥයන් ගේ උපකල්පනයට අනුව) එහෙත් මේ සිද්ධියෙන් පෘථිවි කබොල දිය වී නොමැති බව පර්යේෂකයන්ට පෙනී ගොස්‌ තිබේ.

ව්රෙඩ්ෆොaට්‌

දකුණු අප්‍රිකාවේ පිහිටි මෙනමින් යුත් ආවාටය වසර බිලියන 2ක්‌ පැරැණි බව ගණනය කර තිබේ. උල්කාෂ්මය නිසා හෑරී ගිය මේ ආවාටයේ විෂ්කම්භය කිලෝමීටර 300කි. කිලෝමීටර 10ක්‌ පළලැති ග්‍රහකයක්‌ ගැටීමෙන් මෙය නිර්මාණ වී ඇති බව සැලකෙයි.

මොරොක්‌වෙන්ග්

මේ තවත් දැවැන්ත සහ ඉපැරැණි දකුණු අප්‍රිකානු ආවාටයකි. මෙය පිහිටා තිබෙන්නේ කලගාරි කාන්තාරයේ කෙළවරක ය. කෙසේ නමුත් කාලයක්‌ තිස්‌සේ ඛාදනයට ලක්‌ වීම හේතුවෙන් මෙය සොයා ගන්නා ලද්දේ වක්‍රාකාරයෙන් ලද සාක්‌ෂි මත පදනම් ව ය. එනම් එහි අඩංගු අසාමාන්‍ය පාෂාණමය ගුණාංග සමහරක්‌ අනුව ය. 1990 දී මුල් වරට සොයාගන්නා ලදුව මෙහි පැවැත්ම සනාථ කරන ලද්දේ 2006 වසර තරම් මෑතක දී ය. පසුව මෙය මීටර 770ක්‌ ගැඹුරට කණින ලදි. එහි දී උල්කාෂ්මයේ සෙන්ටිමීටර 25ක්‌ පළලැති කොටසක්‌ සොයාගැනීමට පර්යේෂකයන්ට හැකි විය. මේ ආවාටයේ පළල මීටර 70ක්‌ පමණ වේ.

ඇලන් හිල්ස්‌ 84001

මෙය 1996 වසරේ දී ඇන්ටාක්‌ටිකාවෙන් ඇමෙරිකානුවන් විසින් සොයාගන්නා ලද පාෂාණයකි. NASA ආයතනයේ විද්‍යාඥයන් මෙය සොයාගත් දින එවකට ජනාධිපති බිල් ක්‌ලින්ටන් විසින් ම මාධ්‍ය හමුවක්‌ ද කැඳවන ලදි. මෙයට හේතුව ග්රෑම් 176ක්‌ වන මේ පාෂාණයේ පෘථිවියේ වැනි ම බැක්‌ටීරියාවන් වාසය කර ඇති බවට සලකුණු දක්‌නට ලැබීමයි. මෙය මීට වසර මිලියන 15කට පෙර අගහරු ලොවෙන් කැඩී වෙන් වී, සැලකිය යුතු දීර්ඝ කාලයක්‌ අභ්‍යවකාශයේ සැරිසරා, අදින් වසර 13000කට පෙර පෘථිවයට පතිත වූ පාෂාණයක්‌ බව පෙනී ගියේ ය. කෙසේ වෙතත් මෙය අගහරු පාෂාණයක්‌ බව සැබෑවක්‌ මුත් බැක්‌ටීරියාවන් මගින් නිපදවන ලද දෑ පෘථිවය තුළ දී ම සිදු වූ ක්‍රියාකාරිත්වයන් මිස අගහරු ලොවෙන් දායාද වූවක්‌ නො වන බව පසු කාලයක සනාථ විය.




Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks
o